fbpx

ඉතිහාසයේ පළමු වරට විශ්වවිද්‍යාල සියලුම පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුවට

ඉතිහාසයේ පළමු වරට විශ්වවිද්‍යාල හා ඊට අනුබද්ධ ආයතන විසින් සිදු කරනු ලබන සියලුම පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුව වෙත ලබාදීමේ එකඟතා ගිවිසුමකට අත්සන් කිරීම ඊයේ (24) පාර්ලිමේන්තුවේ දි සිදුකෙරුණා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධමිමික දසනායක මෙම ගිවිසුමට අත්සන් තැබුවා.

මෙම ගිවිසුම යටත් විශ්වවිද්‍යාල විසින් හා ඊට අනුබද්ධ ආයතන විසින් සිදුකරන පර්යේෂණ, සම්මන්ත්‍රණ පත්‍රිකා ආදී සියල්ලක්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පරිහරණය සඳහා ලබා දෙනු ඇති.

එමෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට විවිධ කාර්යයන් සඳහා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ සහය ලබාගැනීමටත්, පිළියෙල කරන ග්‍රන්ථ පරිහරණය කිරීමටත් මෙමගින් අවස්ථාව සැලසෙනු ඇත.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරූ ජයසූරිය මෙම ගිවිසුම හරහා පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක ආංශික අධීක්ෂණ කාරක සභා, කෝප් කමිටුව ආදි කමිටු ක්‍රියාකාරකම්වලට ඉන් මහත් පිටුවහලක් වනු ඇති බව සඳහන් කර සිටියා.

විශ්වවිද්‍යාල පර්යේෂණයන් නිසි ලෙස තම කටයුතුවලට යොදාගන්නා‍ සේම ගරු මන්ත්‍රිවරුන් ලෙස ආමන්ත්‍රණය කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට එවීමට කටයුතු කරන්නැයි තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කථානායකවරයා පැවසුවා.

මෙහිදි අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මෙය ඵෛතිහාසික බවත් පළමුවරට අධ්‍යයන කාර්යමණ්ඩලය පාර්ලිමේන්තුව සමග එක්වන බවත්, සඳහන් ‍කර සිටියා.

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පර්යේෂකයන්ට තම සොයාගැනීම් ප්‍රතිපත්ති සම්පාදකයන් සමග බෙදාහදා ගන්නා මෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා සඳහන් කරනු ලැබුවා.

මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල ඇතුළුව විශ්ව විද්‍යාල ක්ෂේත්‍රය නියෝජනය කරමින් විද්වතුන් ගණනාවක් එක්ව සිටියා.

administrator

Related Articles