fbpx

මීගමු කලපුවත් පුරවන්න පටන්ගනියි

මීගමු කලපුවත් පුරවන්න පටන්ගනියි

මීගමුව කළපුවේ දෑලතුර දෙසින් කලපුව පටන් ගන්නා ස්ථානයේම අක්කර 100 ක් පමණ විශාල ඉඩමක් හොර රහසේ පුරවමින් සිටින බව එම ප්‍රදේශයේ කළ සංචාරයක දී දැකිය හැකිවිය.

කටුනායක අධිවේගී මාර්ගයේ 15 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී ඇරඹෙන මෙම කළපුව පිරවීම 18 වන කිලෝමීටර් කණුව තෙක් පමණ දිවෙයි.

කෙසේ වෙතත් මෙම ඉඩම පුරවනු ලබන බව කිසිසේත්ම අධිවේගී මාර්ගයට නොපෙනෙන ලෙස සූක්ෂ්ම අන්දමින් සිදුකරන බව ද එහි කළ සංචාරයේ දී දැකිය හැකිවිය.

විශේෂයෙන් එකී ඉඩම වටා වවන ලද කැලෑවකින් මෙම පුරවන ප්‍රදේශය සඟවා ඇති අන්දමත් එහි යාමට ඇති පාර ආරම්භයේ සිට පිරවීම් සිදුකරන ඉඩම දක්වා යන අයෙකුට ඒ සඳහා සුවිසල් ගේට්ටු දෙකක් පසුකල යුතු බව ද අදාල ප්‍රදේශයේ කල සංචාරයේ දී තවදුරටත් දැකිය හැකිවිය.

මෙම ඉඩම පිරවීම සිදුකරනු ලබන්නේ පෞද්ගලික සමාගමක් විසින් බවත් ඒ සඳහා නිසි අවසර ලබා නැති බවත් එහි කළ සංචාරයේ දී ප්‍රදේශවාසිහු පැවැසූහ.

මුතුරාජවෙල වනජීවී කලාපයට ආසන්නව ඇති මෙම භූමිය මීගමු කලපුවේ කඩොලාන සහිත බිමකි.

මේ වනවිට එහි විශාල කඩොලාන සංහාරයක් සිදුකරමින් ඇතැයි ද පෙනී ගිය අතර ඒ පිළිබඳ ගූගල් සිතියමේ වඩාත් හොඳින් නිරික්ෂණය කළ හැකිය.

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියෙක් කියා සිටියේ එම ප්‍රදේශයේ කලපුවේ කිසිදු පිරවීමක් සඳහා අවසර දී නැති බවය.

එමෙන්ම ඒ සඳහා කිසිවෙකුගෙන් ඉල්ලීමක් හෝ ලැබී නැති බවත් කළපුවේ ඉඩම් පිරවීම නීති විරෝධී බවත් හෙතෙම කියා සිටියේය.

විනීතා එම් ගමගේ

Source – Lankadeepa

administrator

Related Articles