පෙම් කවක් කියන්න සැරසෙන ඇය යලිත් රසික හදවත් සුවපත් කරන්නට සැරසෙමින්…

පෙම් කවක් කියන්න සැරසෙන ඇය යලිත් රසික හදවත් සුවපත් කරන්නට සැරසෙමින්…

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්.. ඇය ඉන් උපරිම තෘප්තියක් ලබනවා.. මේ කියන්න යන්නේ සංගීතය ජීවිතය කරගත්ත තවත් ශිල්පිනියක් ගැන කතාවක්..

ඇය නිලූ කාරියප්පෙරුම.. ඇය ගොඩක් ආස කරන්නේ සුබාවිත සංගීතයට..

ඒ එක්කම මනසින් රසවිඳින්නට පුළුවන් ළයාන්විත ගීත නිර්මාණ පමණක් කරන්නට ඇය වගබලාගන්නවා..

නිලූ ඇගේ සංගීත දිවියේ තවත් එක් ලස්සන දවසක් ගැන ඉදිරියේදී බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා… මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇය කියන කතාවයි..

අපි ඔබව දන්නේ ගායිකාවක් විදිහට, ඇත්තටම ඔබ කවුද…?

ඔව් මම ගායිකාවක්.. මම , මටම සතුටක් ගෙනෙන්න තමයි කලා කටයුතුවල නියැලෙන්නේ.. ඊට අමතරව මම ව්‍යාපාර කටයුතු කරනවා.. ඒ මගේ පවුලේ ව්‍යාපාර.. ඒත් එක්කම සමාජසේවා කටයුතුත් කරනවා.. මේ වෙද්දී මං වැඩිහරියක් ව්‍යාපාර කටයුතුවල නියැලිලා ඉන්නවා.. ඉතින් මේ කාර්‍යබහුලත්වයත් එක්ක හැම වැඩකටයුත්තක්ම සමබරව කරගෙන යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ..

ඔබේ සංගීත ගමන ගැන අපි මතක් කළොත්..

සංගීත වටපිටාවක් ගෙදරත් තිබුණා.. ඒත් එක්කම මම ළමා සමාජවල ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා.. මගේ පාසල ගම්පහ සිරිකුරුස විද්‍යාලය.. පාසල් කාලයේ ගායන තරගවලින් ජයග්‍රහණ බොහොමයක් ලබාගන්න මට හැකියාව ලැබුණා… ඒ වාගේම මම ආචාර්‍ය නන්දා මාලනියගේ සංගීත ආශ්‍රමයට සම්බන්ධවී ඉන්දියානු භාත්ඛණ්ඩ ඩිප්ලෝමාව අවසන් කළා…

කවුද මුලින්ම ඔබේ ගායන හැකියාව ගැන හඳුනාගත්තේ..

මගේ ගායන හැකියාව හඳුනාගත්තේ ගෙදරින්.. තාත්තාට හොඳට ගායනා කරන පුළුවන්.. මේ වෙද්දී ඔහු ජීවතුන් අතර නැහැ.. එයා මගේ හැකියාව හඳුනාගෙන අවස්ථාවන් ලබා දුන්නා.. මම ගොඩක් පොඩි කාලේ වේදිකාවලත් සින්දු කියන්න අවස්ථාව ලැබුණා..

මේ වෙනකොට ඔබ සංගීත ක්ෂේත්‍රයේ කළ වැඩකටයුතු ගැන අපි කතා කරමු..

මං මේ වෙද්දී ස්ව නිර්මාණ12ක් විතර කරලා තියනවා. අලුත්ම ගීත නිර්මාණය කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා එක්ක කරපු ගීතය තමයි.. ඒ ගීතයේ පද අමිල තේනුවරගෙන්.. ඒ එක්කම සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහගෙන්.. ඊට අමතර මේ දවස්වල ටෙලි නාට්‍ය හතරකට විතර ගීත ගායනා කරන්න අවස්ථාව හිමිවුණා..

ඒත් එක්කම අපි ඔබේ අලුත්ම සංගීත ප්‍රසංගය ගැනත් කතා කරමු..

මේ ප්‍රසංගයේ නම “පෙම් කවක්”.. ඒක අලුත් වැඩක්.. මම ඒ ප්‍රසංගය වෙනුවෙන් ලංකාවෙන් 7 වැනිදා පිටත් වෙනවා.. ඒ මගේ පළමු වැනි ටුවර් එක… ඊට ප්‍රවීණ‍යින් බොහෝ දෙනෙක්ගේ සහය ලැබෙනවා.. මේ ප්‍රසංගය මේ මාසේ 11 වැනිදා රෑ 8.30 පැවැත්වෙනවා.. දෝහා කටාර් හොලොඩේ ඉන් හි Al Mazra Ballroom හි පැවැත්වෙනවා… එයට ප්‍රවීණ සංගීතවේදී මහින්ද බණ්ඩාර ඇතුළු ප්‍රවීණ වාද්‍ය ශිල්පීන් රැසක් අප සමඟ එක්වෙනවා… ඊට අමතරව අලුත් ගීත කිහිපයකට මගේ හඩදායකත්වය ලබාදීමටත් සූදානමින් සිටිනවා…

ජනප්‍රිය ගීත රැල්ල ගැන ඔබ මොකද හිතන්නේ..? ඒ ආරයට ගීත ගායනා කරන්න ඔබට අදහසක් තියනවාද..?

මම කුඩා කාලේ පටන්ම වඩාත් නැඹුරු වුනේ ශාස්ත්‍රීය සංගීතය රසවිඳින්නයි.. මම රස විඳින්න බැරි ගීතයක් මම ගායනා කළොත් එයින් මට ආත්ම තෘප්තියක් ලැබෙන්නේ නැහැ.. මම නිර්මාණයක් කරන්නේ ප්‍රථමයෙන් මාව පිනවන්නයි..

ඔබ බොහොම සීමිත අවස්ථා කිහිපයකට විතරයි කාලය වෙන් කරලා තියෙන්නේ.. සංගීතය පැත්තෙන් ඔබේ අලුත් බලාපොරොත්තු මොනවාද..?

අරුණ ගුණවර්ධන සහ උමා අසේනි එක්ක එකතු වෙලා කරපු අලුත් නිර්මාණයක් ගැන නොහෝ දිනයකදී එලියට ඒවි.. ඒ ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *