අලුත් අවුරුද්දට චාරිත්‍ර වාරිත්‍ර කරාල ඇත්තටම ඒවා කරන්න මේ අරමුණින් කියලා හරියටම දැනගත්තේ අද…

අලුත් අවුරුද්දට චාරිත්‍ර වාරිත්‍ර කරාල ඇත්තටම ඒවා කරන්න මේ අරමුණින් කියලා හරියටම දැනගත්තේ අද…

අවුරුද්දක් උදා වෙන්නේ අපි සියලු දෙනාගේම හිත තුළ තියන සිතුම් පැතුම් අලුත් වෙන, බලාපොරොත්තුවන අරමුණු ඉලක්ක සාර්ථක වන කාලයක්..

ඉතින් ඒ අවුරුද්ද වඩාත් සුබ කරගන්න වසරකට වරක් අපි ඉටු කරන මේ චාරිත්‍රත් ගොඩක් වැදගත්.. අපි බොහෝ දෙනෙක් අකුරටම වෙලාවට මේ චාරිත්‍ර ඉටු කරාට අපි එහෙම කරන්නේ ඇයි කියන එක ඔබ නිකමටවත් හිතලා බැලුවද..?

සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය විමේදී අලුත් අවුරුද්ද උදාවන බව ඡ්‍යොතිර්විද්‍යාත්මක මතය වෙනවා… හිරු හෙවත් රවි ග්‍රහයා රේවතී නැකතේ සිට අස්විද නැකතට සංක්‍රමණය වීමද මෙහිදී සිදුවෙන අතර, ඒ සමඟම අස්වනු නෙළීමේ කාලයද අවසන් වෙනවා..

මේ සුවිශේෂී අවස්ථාව කෝණ මංගල්‍යය, සූර්‍ය මංගල්‍යය, නැකත් කෙළිය යන නම්වලින් විවිධ කාල වකවානුවලදී ව්‍යවහාර වෙනවා..

1886 ජනවාරි 15 වැනි දින නිල වශයෙන් අලුත් අවුරුද්දට නිවාඩු දිනයක් සම්මත වන අතර,බෞද්ධ ආගමට අතීතයේ සිටම හින්දු ආගමේ සිරිත් විරිත්වල බලපෑම සමීපව යෙදුණු බැවින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ආගම් දෙකෙහිම සංකලනයක් ලෙස තව දුරටත් වැඩිදියුණු වී විකාශනය වෙමින් ඉදිරියට යනවා…

අලුත් අවුරුදු චාරිත්‍ර අතර නවසඳ බැලීම, පරණ අවුරුද්දේ ස්නානය, අලුත් අවුරුදු උදාව, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම මෙන්ම රැකියා සඳහා පිටත් වීම ආදි නැකැත් වර්තමානයේ බෙහෙවින් භාවිත කරන අතර පෙර යුගයේ තෙල් වළං ළිප තැබීම වැනි තවත් සිරිත් තිබුණු බව සඳහන්..

නවසඳ බැලීම
මෙය අතීතයේ සිට අද දක්වාම පවත්නා අවුරුදු චාරිත්‍රයකි. අපේ ජන ජීවිතය ඉර හඳ පොළොව සමඟ තදින් බැඳී ඇත. අලුත් අවුරුද්ද එළැඹීම බක් මාසයේ සම්ප්‍රාප්තිය, චන්ද්‍ර හා සූර්ය සංක්‍රමණය ඔස්සේ සිදුවේ. අභිනව චන්ද්‍ර මාස හා සූර්ය මාස වෙනුවෙන් අවස්ථා දෙකකදී නවසඳ බැලීම සිදුකරයි. චන්ද්‍රමාස ක්‍රමය අනුව අවුරුද්දේ පළමු මාසය බක්‌ හෙවත් භාග්‍යවන්ත මාසයයි. ලැබූ අලුත් අවුරුද්දේ පළමු මාසයේ පළමු සඳ යන්තමින් පායනු දැකීම මහත් භාග්‍යයක්‌ ලෙස අපේ පැරැන්නෝ සැලකූහ. විශේෂයෙන්ම පෑලවිය, දියවක, තියවක, ජලවක, විසේනිය, සැටවක, සතවකඩ අටවක, නවවක, දසවක, එකොළොස්වක, දොළොස්වක, තෙලෙස්වක, තුදුස්වක යනුවෙන් චන්ද්‍රයාගේ ගමන තිථිවලට බෙදා දක්වා ඇත. අමාවක ගෙවී පළමු තිථිය පුර පෑලවිය තිථියයි. චන්ද්‍රයා කලුවර පක්ෂයෙන් මිදී සඳ ක්‍රමයෙන් මෝදු වෙමින් තිබෙන අවස්ථාව නැතිනම් ළාසඳ, නව සඳ ලෙසට ගැනේ. සිංහල ජනතාව නව සඳ බලා ප්‍රීති උත්සවය පැවැත්වූහ. මින් බලාපොරොත්තු වන්නේ ලබන්නාවූ අලුත් අවුරුද්දට නව ආලෝකයක් ලබා ගැනීමයි. මිනිස් සිරුරට ජීවය ලබා දෙන පෙණහලු, ඇස් පෙනීම, ලේ ගමනය ආදිය යහපත් වීමයි. නවසඳ බැලීම සිංහල අලුත් අවුරුදු චාරිත්‍රයක්‌ ලෙස එකතුවී ඇත්තේ එබැවිනි. මේ නව සඳ බැලීමේ චාරිත්‍ර දෙක ඔස්සේ සඳුගේ නිවේදක්වය උසුලන මනසටත්, රවිගේ නිවේදකත්වය උසුලන ආත්මයටත් උරුම විය හැකි ඕනෑම පීඩාකාරී තත්වයකට මුහුණ දීමට හැකි ශක්තියක් අධ්‍යාත්මික ඔසුවක් ලෙසින්, ලබා දෙන බව සෘෂි මතය වේ. සඳ බැලීමට සුබ දිනයන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ පෙන්වා දී ඇත. ඒ අනුව අඟහරුවාදා, බදාදා, සෙනසුරාදා සඳ බැලීම සුබ නොවන බව සෘෂි මතය වේ. සඳ බැලීමට සුබ දින වන්නේ ඉරිදා, සඳුදා, බ්‍රහස්පතින්දා, සහ සිකුරාදා ලෙස සැලකේ.

පරණ අවුරුද්දට ස්නානය කිරීමේ චාරිත්‍රය
මේ චාරිත්‍රය මඟින් සිදුවනුයේ පෙර වසරේ සංකේතාත්මකව තමාවෙතින් සිදුවූ සියලු අඩුපාඩු, වැරැදි, පාප ක්‍රියා සෝදා හැර අලුත් අවුරුද්ද පිළිගැනීමට ඉතා පිරිසුදුව ලක ලැහැස්තිවීම යනුවෙන් සරලව දැක්විය හැකිය. ආයුර්වේදීය වශයෙන් භෞතික ශරීරයට අත්‍යාවශ්‍ය වූ ආයුර්වේදීය ප්‍රතිශක්තියක් උරුම කර දීම ය. නිවැරැදි ලෙස ශාස්ත්‍රීය පදනමකින් සෘෂි නියමයන් පිළිපදිමින් මේ පරණ අවුරුද්දට ස්නානය කිරීමේ චාරිත්‍රය ඉටු කිරීමෙන් ආදරය, සෙනෙහස, දයාව, කරුණාව සපිරි නීරෝගීමත් කායික ශක්තියකින් යුක්ත නව වසරක් උරුමකර ගැනීමේ භාග්‍යය උදාවනු ඇති බව පැවැසේ. මනුෂ්‍ය ශරීරයේ පෝෂණය උදෙසා අවශ්‍ය දෑ දිය යුතු වනුයේ මිනිස් හිසටය. මේ නිසා මිනිස් ශරීරයේ නිරෝගී පෝෂණය උදෙසා අවශ්‍ය ප්‍රතිකාර දිය යුතු වනුයේ මිනිස් සිරුරේ සමස්ත පාලනය අත්පත් කරගෙන සිටින මොළය පිහිටි හිසටය. ඒ අනුව හිසට ආලේප කළ යුතු ආයුර්වේද ප්‍රතිකාර සෘෂි නියමයට අදාළව හිස ගල්වා ස්නානය කිරීම සඳහා යොමු කරවනුයේ මේ පදනම පෙරදැරි කරගෙනය.

සෘෂි නියමය පරිදි සතියේ දිනවල ඉස දිය නෑමේ සුබ අසුබ තත්ත්වයන් මෙසේ දක්වා ඇත.

හිස තෙල් ගා ස්නානය කිරීමට සුදුසු යයි අනුමත කර ඇති සතියේ දින සඳුදා, බදාදා සහ සෙනසුරාදා වෙයි.

ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිය නෑම සඳහා සුදුසු යයි ආයුර්වේදයේ අනුමත කර නැත. දිය නා තම ආගමට අයත් ඉෂ්ට දේවතාවා වන්දනා කිරීම ද ඉපැරැණි චාරිත්‍රයකි.

පුණ්‍ය කාලය
නව වසර පුණ්‍යවන්ත ලෙස ආරම්භ කිරීම මඟින් සියලු බලාපොරොත්තු, හැකියා වර්ධනය කර ගැනීමට අවකාශ ලැබේය යන විශ්වාසය ඇත. ඒ අනුව සූර්ය සංක්‍රාන්ති සමය තුළ රවි ග්‍රහයා, කුජ හිමි මේෂ රාශියට ඇතුළු වී කුජ හිමි ග්‍රහ කිරණයට ඒකරාශීව සංයෝග වන විට එයින් නිකුත් වන ග්‍රහ කිරණ අතිශය රුදුරු විෂම බලපෑමකින් යුක්ත වේ. විෂම කිරණවල බලපෑම මඟහරවා ගැනීමට පහසුම හා එකම මඟ තම තමන්ගේ ආගමානුකූල, ධර්මානුකූල පිළිවෙත් අනුගමනය කිරීමය. ආගමානුකූල කටයුතුවල නියුතුව කාලය ගත කිරීම සඳහාම පුණ්‍ය කාලය ලෙස මේ කාලසීමාව නම් කර ඇත. සාමාන්‍යයෙන් මේ සංක්‍රාන්ති සමයට අයත් මුළු කාලය පැය 12යි විනාඩි 48කි. මේ කාලයේ සංක්‍රාන්තියේ පූර්ව කොටස විෂම කිරණ ඇතිවී පැතිරී විහිදී නැතිවී සිසිල්වී යෑමට ගතවන කාලය පැය 6යි විනාඩි 24කි. පුණ්‍ය කාලයේ පූර්ව කොටස ලෙස ගැනෙන මේ පැය 06යි විනාඩි 24ක කාලය තුළ ආහාරපානාදියෙන් වැළැකී ධර්මානුකූලව ජීවිතය ගත කිරීමට වේදයෙහි උපදෙස් දී ඇත්තේ මේ හේතුව නිසාය.

අලුත් අවුරුදු උදාව
සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ඇතුළුවීම අරඹන පළමු පියවර තබන්නේ මේ මොහොතේය.

කිරි ඉතිරවීම, ළිප ගිනි මෙළවීම හා ආහාර පිසීම
නැකැත් සීට්‌ටුව අනුව සිංහල අලුත් අවුරුද්දේ පළමුව ඉටු කරන සිරිත වන්නේ උදාවන නැකැත අනුව සුබ දිශාව බලා ළිප් ගිනි මොළවා කිරිබත් පිසීම හෝ කිරි ඉතිරවීමයි. මෙහිදී ගැමියන්ගේ නිරෝගී දිවිපැවැත්ම හා කාය ශක්‌තිය කෙරෙහි බලපාන්නා වූ ආහාර පිසගැනීම ගෞරව පෙරදැරිව සිදුකරයි. සෑම කිරිබතකටම පාහේ සුදු හෝ රතු කැකුළු සහල්, එළකිරි හෝ පොල් කිරි, ලුණු, එනසාල් භාවිත කෙරෙන අතර පෝෂණ ගුණයෙන් හා ඖෂධීය වශයෙන් කිරිබතේ ගුණ වැඩි කර ගැනීමට තල හා උක් හකුරු මිශ්‍ර කිරීම ද අතීතයේ සිටම සිදුකරනු ලබයි. මෙය හෙළ වෙදකමේ මෙන්ම ආයුර්වේදයේද පැහැදිලිව සඳහන් කර තිබේ.

තල මිශ්‍ර කිරිබතක ධාරණ ශක්තිය වැඩීමේ ගුණයෙන් යුතු අතර ශරීර ශක්තියද වර්ධනය කිරීමේ හැකියාව පවතී. ඇස් පෙනීම වර්ධනය කළ හැකිය. අලසකම දුරු කර ක්‍රියාශීලී බවද ඇතිකරයි. මෙනිසා කිරිබත් මේ පෝෂණීය අමුද්‍රව්‍ය යොදා සකස් කිරීම සිදු කළහ.

ඒ මොහොතේ කිරි උතුරවන්නේ නම්, ඒ සඳහා අලුත් මැටි මුට්ටියක් යොදා ගැනේ. මැටි මුට්ටිය මතු පිට අලංකාර කටයුතු නොකරයි. කහ වතුරෙන් සොදා ගනී. කිරි ඉතිරිවිම සඳහා බොහෝ දෙනෙක් සාලය යොදා ගනී. ඒ බ්‍රහ්ම පාද, දේව පාද යැයි සිතාය. එලෙස කිරීම අවශ්‍ය නොවේ. ඔබ වෙනදා භාවිත කරන මුළුතැන්ගෙයම ඒ සඳහා ඉතා සුබ වනු ඇත. මේ සඳහා රත් හඳුන්, සුදු හඳුන්, දේවදාර, අගිල්, සුවඳ කොට්ටන්, වගේම පැඟිරි සහිත දර වර්ගයක්ද යොදා ගැනීම සුබයි.

ඔබ කැමැති කිරි වර්ගයක් මේ සඳහා යොදාගන්න. මුට්ටියට සුදු හඳුන් කුඩු ස්වල්පයක් සහ අමුකහ ස්වල්පයක් ද දමා කැකුළු හාල් හෝ ඔබ අස්වැන්නෙන් ලබාගත් සහල් වර්ගයක්ද එකතු කරගන්න. එමෙන්ම මුට්ටියට රිදී, පස්ලෝ නැතිනම් රත්‍රන් කාසියක් දමා ගන්න. කිරි ඉතිරවීමෙන් පසු සුදුහඳුන් පොල්කටු රත් හඳුන් සුවඳ කොට්ටන්වලින් සාදාගත් දුම් කබලක් සාදා සාම්බ්‍රානි සමඟ එක්කොට මුළුතැන්ගෙය පටන් මුළු නිවස පුරාම දුම් අල්ලන්න.

මේ කටයුතු අවසානයේ මැටි බඳුනෙන් ඉතිරෙන කිරි ටික එකතු කරගෙන එයට වී ස්වල්පයක්, අබ ඇට කිහිපයක් තල, උඳු, ඕලු ඇට, නාමල් රේණු, නෙලුම් ඇට ස්වල්පයක් එකතු කර එය නිවෙසේ හතර කොනේ ඉසින්න. සුබ වනු ඇත.

වැඩ ඇල්ලීම හා ආහාර අනුභවය
ආහාර අනුභවයට පෙර වැඩ ඇල්ලීම සිරිත වේ. ගොවිතැන් සඳහා පරිහරණය කරන කැත්ත උදැල්ල යළි සක්‍රීය කිරීම ඒ මඟින් සිදු වේ. නිෂ්පාදන වර්ෂයක ආරම්භය සනිටුහන් කිරීම එහි අරමුණයි. ඊළඟ වසරේ ආහාර නිෂ්පාදනයට රටේ සියලුම ජනතාව සූදානම් වීම මෙහිදී සිදුවේ. එසේම ඔබට අදාළ රැකියාව අනුව වැඩ ඇල්ලීම වසර පුරා එය සාර්ථක කිරීමට හේතු වේ.

වර්තමානයේ ගොවිතැන පමණක් ජීවිකාව නොවන නිසා තම තමන්ගේ රැකියාව අනුව වැඩ ඇල්ලීම සිදු කරනු ඇත.

ආහාර අනුභවය සඳහා පවුලේ සියලු දෙනා ආහාර මේසයට ඒකරාශිවන්නේ ඉන් අනතුරුවයි. පහන් දල්වා සූදානම් කරගත් මේසය මත සකස් කරන රස කැවිලි කෙසෙල්ගෙඩි සමඟ කිරිබත් අනුභව කිරීම සිංහල ජනතාවගේ සිරිතයි. කිරිබත යනු සුබ සංකේතයක් සේම නොනගතයේ නිරාහාරව සිට ගන්නා පළමු ආහාරයට කිරි එක් කිරීමෙන් උදරය සමහන් කිරීමත්, කිරිබත් සමඟ දී කිරි, විලඳ අනුභව කිරීමෙන් අවුරුදු සමයේ තෙල් සහිත ආහාරවලින් ඇතිවන අහිතකර තත්ත්ව මැඩ පැවැත්වීම අපේක්ෂා කෙරේ. රසකැවිල්ලේ තල තිබේ නම් ඊළඟ වසරේ තල අස්වැන්න තව තවත් වැඩි කිරීමට මෙහිදී අධිෂ්ඨාන කෙරේ. අග්ගලා තිබේ නම් සහල් නිෂ්පාදනය වැඩි වන බවට විශ්වාසයක් පවතී.

ගනුදෙනු කිරීම
ගනුදෙනු කිරීමේදී පළමුව චාරිත්‍රමය වශයෙන් ගනුදෙනුව සිද්ධ වනුයේ ළිඳ සමඟයි. එයට හේතුව ජලය ශුද්ධ වස්තුවක් වීමයි. ජලය සුරැකීම, පිරිසුදුව තබා ගැනීම යුතුකමක් විය. නිවෙස ආසන්නයේ පවතින ළිඳෙන් අලුත් පැන් කළයක් ලබා ගැනීමට නිවසේ කාන්තාව පෙලඹේ. ඉන්පසු ළිං ජලයට අඟුරු තඹ කාසි සහ ඉඟිනි ඇටද එකතු කිරීම සිදු වේ. මෙහි අර්ථය නම් ළිඳේ පිරිසිදු බව රැක ගැනීමයි.

හිසතෙල් ගෑම
මනුෂ්‍ය ශරීරයේ උත්තමාංගය වු හිසට සිදු කරන සත්කාරයක් සංකේතවත් කරමින් නැකතට හිස තෙල් ගෑම හෙළ අවුරුදු චාරිත්‍රවල වැදගත් අංගයක් වශයෙන් එක කර ඇත. ආයුර්වේද මතානූකූලව හිස කෙස් යනු, අස්ථි ධාතුවේම උප ධාතුවක් ලෙසින් සැලකේ. එබැවින්, මනා කෙස් කලඹක පැවැත්ම සදහා නීරෝගී අස්ථි පද්ධතියක් පැවැතීම ඉතාම වැදගත්ය.

ඡ්‍යොතිෂයට අනුව නව සූර්ය සංක්‍රාන්තියෙන් පසුව උදාවන මේ සුවිශේෂී අවස්ථාව පදනම් කර ගෙන ඒ ඒ ග්‍රහයන්ට වෙන වෙනම ශාක පත්‍ර වෙන්ව තිබෙන බව සඳහන්. ඒ අනුව

ඉරු දිනට අධිපති රවි ග්‍රහයාට ඉඹුල් පත්‍ර ද, රතු පැහැයද

සඳු දිනට අධිපති චන්ද්‍රයාට දිවුල් පත්‍ර ද, සුදු පැහැයද

අඟහරුවාදාට අධිපති කුජට කොළොන් පත්‍ර ද, රතු පැහැයද

බදාදාට අධිපති බුධට කොහොඹ පත්‍ර ද, කොළ පැහැයද

බ්‍රහස්පතින්දාට අධිපති ගුරුට බෝ පත්‍ර ද, රන්වන් පැහැයද

සිකුරාදාට අයිති කිවිට කරඳ පත්‍ර ද, විසිතුරු පැහැයන් ද

සෙනසුරාදාට අයිති ශනිට නුග පත්‍ර ද නිල් යොදා ගන්නා බව පැවසේ.

ඒ ඒ අවුරුදුවල ග්‍රහ ගමන් හා නැකැත් උදාවන්ට අනුව හිසතෙල් ගෑමේ දී භාවිත කරන පත්‍ර වර්ග වෙනස් වෙයි. සාමාන්‍යයෙන් හිසට තබන්නේ එදිනට අදාළ පත්‍රය වන අතර පයට පෙරදාට අදාළ පත්‍රය තබනු ඇත. වර්ෂ 2025 අවුරුද්දේ නැකත්වලට අනුව හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා හිසතෙල් ගෑම කළ යුතු බව සඳහන් වේ.කොහොඹ පත් ඉසට තැබීමෙන් හා කොහොඹ පත් නානු ගෑමෙන් හිස, හිසකෙස් මෙන්ම සිරුර නීරෝගී වේ. අප්‍රේල් මාසයේ උෂ්ණාධිකබව සමනය කිරීමට මේ පත්‍ර වැදගත් වේ. ඡ්‍යොතිෂයට අනුව උෂ්ණාධිකව පතිත වන හිරුගේ විස කිරණ මිනිස් මොළයට බලපායි. එය මේ තෙල් හා නානු සත්කාරයෙන් දුරු වී යයි.

සොබා දහමේ මේ විපර්යාසවලට පිළිතුරක් ලෙස සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසට සත්කාරයක් සිදු කෙරේ. එය හිස තෙල් ගෑමේ මංගල්‍යය ලෙස හැඳීන්වෙයි. මේ චාරිත්‍රය මගින් අව් රශ්මියෙන් දැඩි ලෙස පීඩාවිඳී හිසටත්, මොළයටත් විරේකයක් ලබා දීම සිදු වෙයි.

එළැඹෙන අවුරුද්දේ නිරෝගී දිවියක් ගත කිරීම මෙන්ම දීර්ඝායුෂ ලැබීම හා ප්‍රඥාව ලැබීමත් එහි අරමුණු වෙයි.

රැකියාව සඳහා පිටත්ව යෑම
සුබ නැකැතින් සුබ වර්ණයෙන් සැරසී රැකියාවට පිටත් වීමෙන් වසර පුරා ආර්ථිකය ශක්තිමත් වීමත්, රැකියාවේ දියුණුවත් අපේක්ෂා කෙරේ.

සුබසෙත පුවත්පත ඇසුරෙන්..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *