පොලිස් වාහන අනිසි ලෙස භාවිතා කිරීම ගැන හයේශිකා ගැන පොලිස් පරීක්ෂණයක්

පොලිස් වාහන අනිසි ලෙස භාවිතා කිරීම ගැන හයේශිකා ගැන පොලිස් පරීක්ෂණයක්

උපකාරක පන්ති ගුරුවරියක් පෞද්ගලික අවශ්‍යතා සඳහා පොලිස් මෝටර් සයිකල් සහ මෝටර් රථ භාවිතා කර ඇති බවට පළවන වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. 5 වසර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන් සඳහා පෙරහුරු පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු නමැති ගුරුවරිය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී පොලිස් පරිවාරක රථ සහ මෝටර් බයිසිකල් සහිතව පැමිණි බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. අදාළ ගුරුවරිය විසින් තම පුද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ අරමුණින් පොලිස් සම්පත් අනිසි ලෙස භාවිතා කර ඇති බව පොලිසිය ප්‍රකාශ කර සිටී.

එවැන්නක් කිසිවෙකුට පුද්ගලිකව මුදල් ලබාදී හෝ සිදුකිරීමට පොලිසියේ ප්‍රතිපාදන නොමැති බවත්, මෙය සිදු කළේ කෙසේද යන්න ගැන සොයා බලමින පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකාවේ දැවැන්තම ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ සම්මාන උළෙල” නමින් අප්‍රේල් 17 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඇගේ උත්සවයේ සජීවී විකාශනයක් හරහා මෙම සිද්ධිය අනාවරණය වී ඇත. එම උත්සවයේ අවස්ථා කිහිපයක් සජීවීව විකාශය වූ වීඩියෝ දර්ශනවල පැහැදිලිව පෙනී ගොස් ඇත්තේ, අදාළ ගුරුවරිය සම්මන්ත්‍රණ ශාලාවට පැමිණීමේදී ශ්‍රී ලංකා පොලිසියේ මෝටර් බයිසිකල් හතරක් සහ තවත් පොලිස් පරිවාරක මෝටර් රථයක් මගින් විශේෂ ආරක්ෂාවක් සැපයූ බවයි.
මෙම ගුරුවරිය රේන්ජි රෝවර් වර්ගයේ ජීප් රථයකින් උත්සවයට පැමිණ ඇති අතර, ඇය සම්මන්ත්‍රණ ශාලාව වෙත ඇතුළු වීමට පෙර හෙලිකොප්ටරයක් ආධාරයෙන් මල් වැස්සක් ඇද හැලීමටද සලස්වා තිබේ. මෙම සුවිශේෂී පිළිගැනීම් පිළිවෙත සහ පොලිස් ආරක්ෂාව සාමාන්‍ය පුද්ගලයෙකුට ලබා ගත හැකි ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රශ්න මතු කොට තිබේ.

මෙම සිද්ධිය සමාජ මාධ්‍ය හරහා ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමත් සමග, රාජ්‍ය සම්පත් පුද්ගලික අවශ්‍යතා සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් මහජන විවේචන දැඩි ලෙස ඉදිරිපත් වෙමින් පවතී.

මෙම ගුරුවරිය 5 ශිෂ්‍යත්ව විභාගය සඳහා පන්ති පවත්වන්නියක වන අතර විශාල අලෙවිකරණ ක්‍රියාමාර්ග සමග එම කටයුත්තේ යෙදෙන්නියකි. ඇයගේ අන්තර්ජාල පන්ති සඳහාද දහස් ගණන් පිරිස් එක්වන බව කියැවේ.

කෙසේ වෙතත් කුඩා දරුවන් සඳහා පවත්වන ඉගැන්වීමේ ක්‍රමය අනවශ්‍ය පරිදි ‘මාකට්’ කිරීම ගැන ඇය මින් ඉහතද විවේචනයන්ට බඳුන්ව ඇත.

පසුගිය 5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ රජය හිතාමතා ලංකාවෙන් පළමුවැනියන් ගැන සඳහන් නොකර තිබුනේ, ප්‍රතිපත්තිමය තීරණයක් අනුවය. 5 ශිෂ්‍යත්ව දරුවන් අතර අනවශ්‍ය තරගයක් ඇතිවීම වැළැක්වීමටය. නමුත් මෙම අවස්ථාවේ තමාගේ පන්තියෙන් බිහිවූ අය ලංකාවේ මුල්තැන ගත් බව කියමින් හයේෂිකා දරුවන්ගේ නම් හා ලකුණු ප්‍රසිද්ධ කර තිබුනේ රජයේ ප්‍රතිපත්තිය නොසලකමිනි.

රූපවාහිනී නාලිකාවන්හි නිරන්තරයෙන්ම වෙළෙඳදැන්වීම් ප්‍රචාරය කරන හයේෂිකා සමාජ මාධ්‍ය පිටු වලටද දැන්වීම් ලබාදී තම ප්‍රතිරූපය ඉහළ නංවාගැනීමට නිරතුරුව කටයුතු කරන්නියකි.

2024 වසරේ ‘බිස්නස් වර්ල්ඩ් ඉන්ටර් නැෂනල් සම්මාන’ නමින් APLA නමැති පුද්ගලික සරසවියක් පවත්වනු ලැබූ උත්සවයකදී හයේෂිකා ප්‍රනාන්දුට සම්මානිත ආචාර්ය උපාධියක් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ අතින් ප්‍රදානය කෙ‍රී ඇති අතර එතැන් පටන් ඇය ‘ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු ‘ නමින් සිය නම වෙනස් කරගෙන ශිෂ්‍යත්ව පන්ති සඳහා ප්‍රචාරණ සිදුකරමින් සිටී.
ඇය වරින් වර සමාජ මාධ්‍ය වෙත ආන්දෝලනාත්මක වීඩියෝ මුදාහැරීම නිසාද ප්‍රසිද්ධියට පත්ව ඇත.මීට ඉහත ඇය තම ගම් පළාතටද හෙලිකොප්ටරයකින් ගොස් ඒ ගැන කථාබහක් ඇති කළ අතර පසුව මාධ්‍ය වෙත කියා සිටියේ තමා උපන් ගමට කවදා හෝ හෙලිකොප්ටරයකින් ගොස් ගොඩ බා පිළිගැනී‍මට ලක්විමේ හීනය සැබෑ කරගත් බවකි.

17 වනදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයට මෙවර ශිෂ්‍යත්ව සමතුන් විශාල ප්‍රමාණයක් දිවයිනේ සිවිදිගින් පැමිණ තිබූ අතර ඔවුන්ට ඇගේ තයාග කට්ටල හා සහතික පත් ලැබුණ බවද වාර්තා විය.

‘ලස්සණ ලයිට් දමා’ ගීතය ගායනා කළ ඇඹිලිපිටියේ දිනුලි දම්සදි දැරියට රු ලක්ෂයක් පිරිනමා ඇගයීමේ විශේෂ අවස්ථාවක්ද මෙම උත්සවයට ඇතුළත් කර තිබුණි.

උපකාරක පන්ති ගුරුවරිය සිය ප්‍රතිරූපය නැංවීමට පෞද්ගලික අවශ්‍යතා සඳහා පොලිස් මෝටර් සයිකල් සහ මෝටර් රථ භාවිතා කර තිබීම ගැන පරීක්ෂණයක් සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *