fbpx

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා හෙට සිට පැය 48ක් සේවයෙන් ඉවතට

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා හෙට සිට පැය 48ක් සේවයෙන් ඉවතට

හෙද පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් කාර්ය මණ්ඩල වලට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන නිසා හෙට (24) උදෑසන 7.00 සිට හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවල වෘත්තීය සමිති 16කට අයත් පිරිස් පැය 48ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කරයි.

මෙම වැඩවර්ජනය සඳහා හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් 55,000කට ආසන්න පිරිසක් සහභාගී වන බවද එම සම්මේලනයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවසීය.

ඇති වී තිබෙන ගැටලු 07ක් කඩිනමින් විසඳන ලෙස ඉල්ලා පසුගිය 17වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ බවත්, මෙම ගැටලු විසඳන ලෙස ඉල්ලා පසුගිය 09වැනිදා පැය 24ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකළ බවත් ඔහු පවසා සිටියේය.

එහෙත් අදාළ ගැටලු විසඳීම සඳහා විධිමත් සාකච්ඡාවක් පැවැත්වීමටවත් බලධාරීන් කටයුතු කර නොමැති බවත්, මේ නිසා පැය 48ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර මානුෂීය හේතූන් මත පිළිකා රෝහල්වල හා ළමා හා කාන්තා රෝහල් තුළ මධ්‍යම ලේ බැංකුව තුළ ස්වෙච්චාවෙන් සේවය කරන බවත් සභාපතිවරයා පැවසීය.

සෞඛ්‍ය පරිපාලන සේවාව ස්ථාපිත කරන ලෙස, මාණ්ඩලික සේවා චක්‍රලේඛය වහා නිකුත් කරන ලෙස, 5/7 උසස්වීම් චක්‍රලේඛය වහා නිකුත් කරන ලෙස, විශේෂ රාජකාරි දීමනාව රුපියල් දසදහසක් දක්වා ඉහළ දමන ලෙස හා අතිකාල ගැටලු විසඳන ලෙස ඉල්ලා හා වෘත්තීයවේදී උපාධිධාරීන්ට නිවැරදි වැටුප් පරිමාණ ස්ථාපිත කරන ලෙස ඉල්ලා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.

(ඉන්දික හේවාවිතාරණ)

administrator

Related Articles