බලපිටිය මුහුදේ අතරමං වූ ධීවරයින් බේරා ගත් ගුවන් හමුදා විරුවන්ගේ එක් බිරිඳක් කී ඔබ නොඇසූ කතාව මෙන්න

බලපිටිය මුහුදේ අතරමං වූ ධීවරයින් බේරා ගත් ගුවන් හමුදා විරුවන්ගේ එක් බිරිඳක් කී ඔබ නොඇසූ කතාව මෙන්න

මේ පහල ඡායාරූපය සිහිවටනයක්. මේ ඡායාරූපයේ පෙනෙන්න තියන හෙලිකොප්ටර් යානය තමයි අද බලපිටිය මුහුදේ ධීවරයින් තිදෙනාව බේරා ගැනීමේ සාර්ථක මෙහෙයුමට සම්බන්ධ වුණේ. එතකොට ඔය හෙලිකොප්ටරය ඉදිරියෙන් සිටගෙන ඉන්න, රත්මලාන හමුදා කඳවුරේ හතරවෙනි බලඝනයේ ගුවන් හමුදා සාමාජිකයෝ තමයි ඒ මෙහෙයුම සම්පූර්ණ කළේ. ඔවුන් අතරිනුත්, වමේ සිට තුන්වෙනියට සිටගෙන ඉන්න ගුවන් හමුදා සාමාජිකයා තමයි, මෙහෙයුමට සම්බන්ධ වුණු යානයේ ප්‍රධාන ගුවන් නියමුවා හෙවත් කැප්ටන්. ඔහු තමයි, ධීවරයින් තිදෙනාව නිරුපද්‍රිතව බේරා ගැනෙන තුරු, අයහපත් කාලගුණය තුළ හෙලිකොප්ටරය ආරක්ෂිතව හසුරවාලීමේ බාරදූර කර්තව්‍යයේ නායකත්වය දැරූ තැනැත්තා. තවත් සරලව කියනවා නම්, ඒ තමයි ස්කොඩ්‍රන් ලීඩර් ඉෂාන් සිල්වා හෙවත් මගේ ස්වාමි පුරුෂයා.

ඉෂාන් කියන්නේ ඉතා නිහඬව තමන්ගේ රැකියාවේ යෙදෙන කෙනෙක්. අද හවස ගෙදර ඇවිත් මට කෝල් එකක් දීලා කිව්වෙත් “උදේ ඔයාගේ කෝල් ආන්සර් කරන්න බැරි වුණානේ. මුහුදේ හිර වෙලා හිටිය මාලු අල්ලන මිනිස්සු වගයක් බේරගන්න ගියානේ” කියලා විතරයි. ඉශාන් අද තමන් කරපු රාජකාරිය ඒ තරම් සැහැල්ලුවෙන් කිව්වාට, එයා ඇතුලු ටීම් එක ඇත්තටම කරලා තියෙන්නේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ‘බිග් ඩීල්’ එකක් කියලා මමයි අපේ ගෙදර අයයි පවා තේරුම් ගත්තේ, ගලවාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වීඩියෝ ටික දැක්කට පස්සෙයි. ඉතින් අද වගේ දවස්වලදි ඉෂාන් ගැන දැනෙන ආඩම්බරයෙන් අපේ හදවත් පිම්බෙනවා; ඉෂාන් ගැන දැනෙන ආදරයෙන් අපේ හදවත් උණුසුම් වෙනවා; ඉෂාන් ගැන දැනෙන විස්මයෙන් අපේ ඇස් දිලිසෙනවා. ඒ, ඉෂාන් එයාගේ රාජකාරියේ යෙදෙන දක්ෂතාවය සහ එයා එයාගේ රාජකාරිය වෙනුවෙන් දෙන තියුණු අවධානය පිළිබඳව අපිට දැනෙන ගෞරවය නිසාම විතරක් නෙමෙයි. දැඩි ජීවිත අවදානමක් දරමින්, අන්‍ය මනුෂ්‍ය ජීවිත බේරාගෙන ගෙදර එන ඉෂාන්, තමන් කළ වික්‍රමය/කුසල කර්මය ගැන වහසි බස් හෝ උදාන වාක්‍ය නොදොඩා, “බඩගිනියි අනේ. මෙස් එක පැත්තට බෙල්ල දාලා කන්න මොනවහරි හොයාගෙන එන්නම්.” කියලා ක්ෂනිකව එයාගේ දෛනික ජීවිතයට හැරෙන හැටි අපිව පුදුමයට පත් කරනවා.

ඉෂාන්ගේ අත්වලින් ප්‍රභූවරුන්ගේ ජීවිත රැකිලා තියනවා. ඒ වගේම ඉතාම සාමාන්‍ය, දිළිඳු යැයි සැළකෙන මිනිස්සුන්ගේත් ජීවිත රැකිලා තියනවා. නමුත් ඒ සියලු බේරාගැනීම්වලින් පසුව එයා ගෙදර එනවා. “අද මෙන්න මෙහෙම වැඩකට ගියා.” කියලා විතරක් කියනවා. මම වැඩි විස්තර අහද්දි, ඉතා සරලව මොකද වුණේ කියලා කියනවා. එයා ඇත්තටම කරලා තියෙන්නේ බරසාර වැඩක් බව පස්සේ අපි ටීවි එකෙන් හෝ ෆේස්බුක් එකෙන් දැනගන්නවා. නමුත් ඒ බරසාර වැඩේ පිටිපස්සේ එයා හිටපු විත්තිය එයාගේ පවුල ඇරෙන්න මේ රටේ වෙන කවුරුත් දන්නේ නැහැ. එයා වෙනුවෙන් නැගෙන අත්පොලසන් නැතිව, විසිල් නැතිව, කොටින්ම එයාගේ නමේ සඳහනක්වත් නැතිව එයා හෙටත් වැඩට යනවා. නිහඬව රාජකාරිය කරනවා. රැකියාවේ තෘප්තිය විතරක් හවසට ගෙදර අරගෙන එනවා.

මේ කතන්දරය ඉෂාන්ගේ කතන්දරය විතරක්ම නෙමෙයි. ඉෂාන් එක්ක සේවය කරන අනෙකුත් හමුදා සාමාජිකයින්ගේ කතන්දරයත් මේකමයි. ඔවුන්ව අවශ්‍ය වෙලාවට ඔවුන් පෙනී ඉන්නවා. ඔවුන්ගෙන් මේ රට ඉල්ලා සිටින රාජකාරිය සම්පූර්ණ කරනවා. ඉන්පස්සේ ඔවුන් නැවතත් ඔවුන්ගේ සුපුරුදු ජීවිතවලට හැරිලා යනවා. ඔවුන් කවුද කින්ද මන්ද කියලා කවුරුත් දන්නේ නැහැ. ඔවුන් නිහඬව පැවතෙනවා. නිහඬව විශ්‍රාම ගන්නවා. රැකියාවේ තෘප්තිය විතරක් මතක තුළ තබාගෙන නිහඬව මිය යනවා.

ඉතින් මේ සටහන අපේ ඉෂාන් වෙනුවෙන්. මහා සුවිසල් ජීවිතයක් නිශ්ශබ්ද පපුවක් තුළ රඳවාගෙන ඉන්න මනුස්සයා වෙනුවෙන්. උදේට මිනිස් ජීවිත බේරලා ඇවිත් හවසට ශෝටක් ගහගෙන කාමරේ සුද්ද කරන කොල්ලා වෙනුවෙන්. මගේ ළඟ රැඳෙන්න බැරි වුණාට, විපතට පත් වෙච්ච මිනිස්සු ගණනාවක් ගාව රැඳුණු සහ තවමත් රැඳෙන මගේ මහත්තයා වෙනුවෙන්. ඒ වගේම මේ සටහන, අද මෙහෙයුමට සම්බන්ධ වුණු ෆ්ලයිට් ලුතිනන් එරංග ඒකනායක, කෝප්‍රල් ප්‍රභාත් කුමාර, කෝප්‍රල් ලසන්ත කුමාර, ස්කොඩ්‍රන් ලීඩර් සම්පත් රත්නායක, සාජන්ට් කුමාර ද සිල්වා සහ සාජන්ට් ප්‍රසන්න වෙනුවෙන්. ඒත් එක්කම, අත්පුඩියක් හෝ පෙරළා බලාපොරොත්තු නොවෙමින් අපිට කරන්න තියා හිතන්නවත් බැරි වීරකම් අපි වෙනුවෙන් කරන, ඊටත් පස්සේ මුකුත් නොකරා වගේ ගෙදර යන, යුනිෆෝම් ඇඟලා ගත් එක්තරා මිනිස්සු කණ්ඩායමක් වෙනුවෙන්. ඔයාලා කවුද කියලා දැනගන්න අපිට හැමතිස්සේම බැරි වේවි. හැබැයි ඔයාලා ඉන්න බව අපි දන්නවා. ඔයාලාව අපිට පෙනෙනවා. ඔයාලාව අපිට වටිනවා. අපි ඔයාලාව අපේ ළඟ තියාගෙන ඉන්නවා.

ලක්ෂ වාරයක් සහ ඊට වඩා ටිකක් වැඩියෙන් ස්තූතියි!

 

-අමාවි සිල්වා-

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *