අරන්තලාවේ ඒ දුක්බර කතාව මතකද ?  ” මට සිහිය ආවේ හාමුදුරුවන්ගේ තුන් මාසේ දානෙත් දුන්නට පස්සේ..” වසර 38ක අදුරු මතකය.. අදටත් හදවත් තුල දෝංකාර දෙන ඒ කතාව මෙන්න

අරන්තලාවේ ඒ දුක්බර කතාව මතකද ? ” මට සිහිය ආවේ හාමුදුරුවන්ගේ තුන් මාසේ දානෙත් දුන්නට පස්සේ..” වසර 38ක අදුරු මතකය.. අදටත් හදවත් තුල දෝංකාර දෙන ඒ කතාව මෙන්න

අරන්තලාවේ භික්ෂූ ඝාතනය සිදුවූයේ 1987 වසරේදීය. අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු වී  (02) වසර 38ක් සපිරේ.

1987 ජූනි 02 දා උදෑසන අම්පාර-අරන්තලාව මාර්ගයේදී කොටි ත්‍රස්තවාදීහු හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ 32 නමක් කපා කොටා ඝාතනය කළහ. කොටි ත්‍රස්තවාදීන් එකම ස්ථානයක භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් ඝාතනය කළ අවස්ථාවක් ලෙස අරන්තලාව භික්ෂු ඝාතනය ඉතිහාසයට එක් වී ඇත.

මේ සිදුවීම සම්බන්ධව ඇසින් දුටු ප්‍රභලම සාක්ෂ්‍ය වන්නේ එම බස්රථයේ එදා ගමන් කර දිවි ගළවා ගත් ආඳාඋල්පත බුද්ධසාර හිමියන්ය.

උන් වහන්සේ අද දිවි ගෙවන්නේ මහියංගණය බිබිල මාර්ගයේ රිදීමාලියද්ද කුඩා ආවාසයකය. පූර්ණ ආබාධිතව දිවි ගෙවන උන් වහන්සේ රෝද පුටුවකට සීමා වී ඇත.

අම්පාර ඩිපෝවට අයත් 60 – 3599 බස් රථයෙන් 1987 වසරේ ජූනි මස 2 වැනිදා හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමි ප්‍රමුඛව සාමණේර හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේ වැඩම කෙළේ විශේෂ ධර්ම ප්‍රචාරයකටය.

‘‘ඒ අවාසනාවන්ත දිනය මට හොඳට මතකයි එතකොට මට වයස අවුරුදු 18යි. හෑගොඩ ඉන්ද්‍රසාර නායක හාමුදුරුවො සිදු කරන ධර්ම ප්‍රචාරක වැඩ සටහනකට සහභාගි වෙන්නයි අපි ගියේ. නායක හාමුදුරුවන්ට ඕනකරල තිබුණෙ පළමු රහත් 60 නම වෙනුවෙන් ධර්ම ප්‍රචාරය කිරීම ආරම්භ කරන්නයි.

1987 ජූනි මාසෙ 7 වැනිදා කළුතර බෝධීන් වහන්සෙ ළඟ ඉදල කතරගමට ධර්ම ප්‍රචාරක චාරිකාවක් ආරම්භ කරන්න නායක හාමුදුරුවන්ගේ සැලසුමක් තිබුණා. ඒකට සහභාගි වෙන්න 2 වැනිදා මහනුවරට ගිහින් මහනායක හිමියන්ගෙන් ආශිර්වාදත් අරගෙන, කැලණි විහාරය වැදගෙන කොල්ලුපිටිය පුෂ්පාරාම විහාරයට ගිහින් එහේ ඉදල පසුව කළුතර දක්වා යන එකයි සැලසුම වුණේ.

උදේ 6.00ට විතර අම්පාර මහාවාපි විහාරයෙන් ගමන යන්න බස් එකට කට්ටිය නැංගුවේ මමයි. නාම ලේඛනයේ ඉන්න හාමුදුරුවරු නම් කතාකරල බස් එකේ අසුන් ගැන්වූවා.

හාමුදුරුවරු 37 නමක් හිටිය මාත් එක්ක. රියැදුරු කොන්දොස්තර මහත්වරු ඇරෙන්න ගිහි අය දෙන්නෙක් හිටිය. සේරම කට්ටිය 41යි. අපි ටිකක් විනෝදෙන් හයියෙන් කතා බහ කරමින් බස් එකේ ගමන් කළේ. නුගේලන්ද, රජගල තැන්න පහුකරගෙන යද්දි නායක හාමුදුරුවො කිව්වා දැන් ඇති විනෝද වුණා. අපි පිරිත් සඡ්ඡායනා කරමු කියලා. නායක හාමුදුරුවොත් එක්ක අපි පිරිත් කිව්වා. අරන්තලාව නුවරගලතැන්න 29 වැනි හැතැප්ම කණුව ගාවට ආවා විතරයි. පාර හරහා තිබුණු කොටයක් දැකල රියැදුරු මහත්තය බස් එක නැවැත්තුවා. ඒ එක්කම රියැදුරු මහත්තයා ‘හාමුදුරුවනේ ඔන්න කොටි.. කොටි.. කොටි‘ කියල කෑගැහුවා. ඒ එක්කම බස් එකට නැග්ග ත්‍රස්තවාදියෙක් දිග නැමුණු පිහියක් රියැදුරාගෙ බෙල්ලට තියල කිව්වා ‘බස් එක කැලෑවට එලවන්න‘ කියලා. මීටර් 100ක් විතර බස් එක ගෙනිහින් නැවැත්තුවා. දොර ළඟයි; ඇතුළෙයි ත්‍රස්තවාදීන් 4 දෙනෙක් හිටියා. “උඹල මට ඕන දෙයක් කරපල්ල මේ මගේ දරු පැටවුන්ට කිසි දෙයක් කරන්න එපා”.

එහෙම කියපු නායක හාමුදුරුවන්ට දිග පිහියක් ඉස්සුවා. ඒක බස් එකේ වහලෙ වැදිල නැවතුණා. ඒ තිරිසන්නු එයින් නැවතුණේ නැහැ. රියැදුරු මහත්තයත් කොන්දොස්තර මහත්තයටත් දිගට හරහට ලොකු පිහිවලින් කපල කොටල දැම්ම, පොඩි හාමුදුරුවරුන්ගේ විලාප මැද ලොකු හාමුදුරුවන්ටත් පිහිවලින් කෙටුවා. බස් එකේ හිටපු සේරම හාමුදුරුවරුන් පිහිවලින් කපාගෙන පිටිපස්සට ආවා.

අපේ හාමුදුරුවරු එක්කෙනා පිට එක්කෙනා වැටුණා. මම හිටියෙ පිටිපස්සෙම සීට් එකේ. මමත් බිමට වැටුණා. ඒත් එක්කම ඒ තිරිසන්නු සීට් අස්සෙ හැංගිලා හිටපු අවුරුදු 8 – 9 පොඩි හාමුදුරුවරු එළියට ඇදල කපල කොටල මදිවට බිම වැටිල මැරුණු නැති අය ඇති කියල වෙඩි තියාගෙන ගියා. මගේ පිටට වෙඩි 3ක් වැදුණා මට මතකයි. මට නින්ද යනවා වගේ දැනුණා.

ඒ ප්‍රහාරයෙන් බරපතළම තුවාල ලැබුවේ මමයි. මට පියවි සිහිය ආවේ හාමුදුරුවරුන්ගේ තුන් මාසෙ දානෙත් දුන්නට පස්සෙයි. කලින් සිහිය ඇවිත් තිබුණත් පිටේ තිබුණු උණ්ඩයක් අයින් කරාට පස්සෙ තමයි මට අම්මා, තාත්තා පවා අඳුරගන්න පුළුවන් වුණේ. අදටත් ඒ ස්නායු ආබාධයන්ගෙන් මම පීඩා විදිනවා. මානසිකව ලොකු පීඩනයකින් ඉන්නේ. අද ජූනි 2 වැනිදා භික්ෂු ඝාතනය ගැන කතා කරත් කිසි කෙනෙකුට අපිව මතක නැහැ.”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *