“මට බකල් එක ගලවා ගන්න පුළුවන් වුණා. ඒ විවරයෙන් කකුලෙන් හයිය අරන් බඩගා ගෙන එළියට ආවා” ඒ පසුගිය බ්‍රහස්පතින්දා සිදුවූ Air India ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් එක ම මගියා වන බ්‍රිතාන්‍ය ජාතික විශ්වාෂ්කුමාර් රමේෂ් කියන කතාව.
විශ්වාෂ්කුමාර් රමේෂ් ඉන්දීය රාජ්‍ය මාධ්‍ය වන DD නිවුස් වෙත ඒ බව සදහන් කර තිබුණා.
පසුගිය බ්‍රහස්පතින්දා බටහිර ඉන්දියාවේ අහමදාබාද් සිට ගුවන්ගත වී මද වේලාවකට පසු අනතුරට පත් ලන්ඩන් බලා පියාසාර කළ බෝයිං 787 ගුවන් යානයේ 40 හැවිරිදි රමේෂ් සිටියේ 11A අසුනේයි.
රෝහල් ඇඳේ සිට කතා කරමින් ඔහු සදහන් කරන්නේ ගුවන් යානය ගුවන්ගත වී මොහොතකට පසු ඇතුළත විදුලි පහන් “නිවී නිවී දැල්වෙන්නට පටන් ගත්” බවයි.
තත්පර පහක් හෝ 10ක් ඇතුළත, යානය “ගුවනේ හිරවෙලා” වගේ දැනුණු බවත් ඔහු පවසනවා.
“ලයිට් කොළ සහ සුදු පැහැයෙන් නිවී නිවී දැල්වෙන්න පටන් ගත්තා… එක පාර ම ගොඩනැගිල්ලක හැප්පිලා පුපුරලා ගියා.”
මෙම බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානය බීරම්ජී ජීජීභායි වෛද්‍ය විද්‍යාලයේ සහ සිවිල් රෝහලේ වෛද්‍යවරුන් සඳහා නවාතැන් ලෙස භාවිත කරන ගොඩනැගිල්ලක් මතට කඩා වැටිණි.
තමා නිරුපද්‍රිතව එළියට ආ බව විශ්වාස කළ නොහැකි බවයි රමේෂ් DD නිවුස් වෙත සදහන් කරන්නේ…
“මගේ ඇස් ඉස්සරහා මිනිස්සු මැරෙනවා මම දැක්කා – ගුවන් සේවිකාවන් සහ මගේ ළඟ හිටපු දෙන්නා මම දැක්කා,මොහොතකට, මමත් මැරෙන්න යනවා වගේ දැනුනා, නමුත් මම ඇස් ඇරලා වටපිට බැලුවම, මම ජීවතුන් අතර ඉන්නවා කියලා මට තේරුණා.තාමත් මට මම බේරුනේ කොහොම ද කියලා හිතා ගන්න බැහැ. මම සුන්බුන් අතරින් එළියට ආවා.”
රමේෂ් විවාහක වන අතර එක් දරු පියෙකි. ඔහු ඉන්දියාවේ උපත ලැබුව ද, වසර ගණනාවක් එක්සත් රාජධානියේ ජීවත් ව සිට තිබෙනවා.
සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝවක පසුබිමින් දුමාරයක් නැගෙන මධ්‍යයේ, රමේෂ් ගිලන් රථයක් දෙසට ඇවිද යන ආකාරය සටහන් ව තිබුණි.
ඉන්දීය මාධ්‍ය පවසන්නේ, රමේෂ් තම බෝඩිං අවසර පත්‍රය නිරීක්ෂණය කිරීමට ලබා දුන් බව ත් එහි ඔහුගේ නම සහ ආසන අංකය සඳහන්ව තිබුණු බව ත් ය.