එයාර් ඉන්දියා ප්‍රධාන නියමුවා, ඉන්ධන විසන්ධි කිරීම අනතුරට හේතුවූ බව ඇමරිකානු පරීක්ෂණයෙන් හෙළිවේ

එයාර් ඉන්දියා ප්‍රධාන නියමුවා, ඉන්ධන විසන්ධි කිරීම අනතුරට හේතුවූ බව ඇමරිකානු පරීක්ෂණයෙන් හෙළිවේ

 

පසුගිය මාසයේදී ඉන්දියාවේ අහමදාබාද් නුවරදී කඩා වැටුණු එයාර් ඉන්දියා යානයේ එන්ජින් සඳහා වූ ඉන්ධන සැපයුම, යානයේ ප්‍රධාන නියමුවා විසින් විසන්ධි කර ඇති බවට, නියමු කුටියේ හඬ පටිගත කිරීම් හරහා තොරතුරු අනාවරණය වෙමින් පවතින බව විමර්ශනයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. මෙම අනතුරින් පුද්ගලයින් 260 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

 

අනතුර සිදුවන අවස්ථාවේ බෝයිං 787 යානය පාලනය කරමින් සිට ඇත්තේ සහායක නියමුවා වන අතර, ඔහු විසින් ප්‍රධාන නියමුවාගෙන් ඉන්ධන ස්විච ක්‍රියා විරහිත කළේ මන්දැයි විමසා ඇති බවත්, නැවත ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් කරන ලෙස ඉල්ලා ඇති බවත් එම ආරංචි මාර්ගය වැඩිදුරටත් සඳහන් කරයි. නියමු කුටියේ වීඩියෝ දර්ශන නොමැති වුවද,

දෙදෙනා අතර සිදුවූ සංවාදයට අනුව මෙම ක්‍රියාවට ප්‍රධාන නියමුවා වගකිව යුතු බවට ප්‍රබල සාක්ෂි පවතින බව එක්සත් ජනපද නිලධාරීන්ගේ මූලික තක්සේරුවේ දැක්වේ.

කෙසේ වෙතත්, ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය (AAIB) විසින් නිකුත් කරන ලද මූලික වාර්තාවේ දැක්වෙන්නේ, යානය ගුවන්ගත වූ විගස ඉන්ධන ස්විච ‘run’ (ක්‍රියාත්මක) තත්වයේ සිට ‘cutoff’ (විසන්ධි) තත්වයට පත්වී ඇති බවයි. ඒ සමගම යානයේ ප්‍රධාන එන්ජින්වල බලය අක්‍රිය වූ බවට සංඥා කරමින්, එහි උපස්ථ බලශක්ති ප්‍රභවය (Ram Air Turbine) ක්‍රියාත්මක වී ඇති බවටද සාක්ෂි ලැබී ඇත.

අඩි 650ක් පමණ උසකට ගිය යානය, ඉන්පසු බලය නොමැතිව පහළට ඒමට පටන්ගෙන ඇති අතර, එන්ජින් නැවත පණගැන්වීමට උත්සාහ කළද, යානය පැවති අඩු උස සහ වේගය නිසා එය යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි වී තිබේ. යානය ගස් කිහිපයක සහ චිමිනියක ගැටී අවසානයේ ආසන්නයේ පිහිටි වෛද්‍ය විද්‍යාල ගොඩනැගිල්ලක් මතට කඩා වැටී ගිනිගෙන ඇත.

 

එයාර් ඉන්දියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාද සඳහන් කර ඇත්තේ මූලික වාර්තාවට අනුව යානයේ කිසිදු යාන්ත්‍රික හෝ නඩත්තු දෝෂයක් සොයාගෙන නොමැති බවයි. මෙම වාර්තාවෙන් පසුව, බෝයිං සමාගම සහ එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) විසින් බෝයිං යානාවල ඉන්ධන ස්විච පද්ධතිය ආරක්ෂිත බවට නිවේදන නිකුත් කර තිබේ.

ඉන්දියාවේ විමර්ශන කණ්ඩායමට එක්සත් ජනපද ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) ද සහාය ලබා දෙයි. මෙම අනතුරත් සමඟ, ගුවන් යානාවල නියමු කුටි තුළ වීඩියෝ කැමරා සවිකිරීමේ අවශ්‍යතාව පිළිබඳව නැවත වරක් ජාත්‍යන්තර කතාබහක් ඇතිවී තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *