බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී සිය දිවි නසාගැනීම සඳහා කැලිප්සෝ දුම්රියට ගෙල තබා සිටි 42 හැවිරිදි පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීමට 9 හැවිරිදි දැරියක් සමත්ව තිබෙනවා.
ඇයගේ තික්ෂණ නුවණ සහ ක්ෂණිකව ක්‍රියාත්මක වීම නිසා මෙලෙස ජීවිතයක් බේරා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම වීරක්‍රියාව සිදුකර ඇත්තේ බණ්ඩාරවෙල පදිංචි සෙනුකි හියාරා නම් ශිෂ්‍යාවයි.
ඇයගේ මව සහ පියා විදෙගතව රැකියාවල නිරතවන අතර සෙනුකි සහ ඇගේ බාල සහෝදරයා ඔවුන්ගේ සීයා සහ මිත්තණිය සමග බණ්ඩාරවෙල නගරයේ ජීවත්වෙනවා.
කැලිප්සෝ දුම්රියෙන් දෙමෝර දක්වා ගමන් කිරීමට පසුගියදා සෙනුකි, ඇගේ සහෝදරයා සහ ඇගේ මිත්තණිය සමග පසුගිය 23වනදා බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ගොස් තිබුණා.
එහිදී සිය සහෝදරයා සමග සෙල්ලම් කරමින් සිටි සෙනුකි, යම් පුද්ගලයෙකු කැලිප්සෝ දුම්රියේ රෝදයක් ආසන්නයේ රේල්පිල්ලට බෙල්ල තබාගෙන සිටින ආකාරය දැක තිබෙනවා.
“අනේ අන්කල් නැගිටන්න” යැයි එම පුද්ගලයාට සෙනුකි පවසා ඇතත් එම පුද්ගලයා ඒ පිළිබඳව ගණනකට ගෙන තිබුණේ නෑ.
පසුව ඇය එම පුද්ගලයා බේරාගැනීමට උදව් ඉල්ලමින් දුම්රිය ස්ථානාධිපතිවරයාගේ කාමරය දිවගොස් තිබුණා.
වහාම ක්‍රියාත්මක වූ දුම්රිය නිලධාරීන් හා සේවකයන් එම පුද්ගලයා දුම්රිය මාර්ගයෙන් එළියට ගෙන සිදුවන්නට ගිය මහ විපතින් ඔහු බේරාගෙන තිබෙනවා.
සියදිවි නසාගැනීමට තැත්කළ පුද්ගලයා දුම්රිය ස්ථානාධිපති විසින් බණ්ඩාරවෙල පොලිසියට බාරදී ඇති බවද සඳහන්.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි ඔහු මානසික ආතතියකින් පෙළුණු හිටපු නාවික හමුදා සාමාජිකයෙකු බවත් පවුල් ආරවුලක් නිසා මීට පෙර අවස්ථා කීපයකදී සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවත් විමර්ශණවලදී අනාවරණය වූ බව බණ්ඩාරවෙල පොලිසිය සඳහන් කළා.