ඔබ දියවැඩියා රෝගියෙක් නම් එය නිට්ටාවට සුව කළ හැකි තත්ත්වයක් නොවන බව දැනටත් දන්නවා ඇති. කුමන රෝග තත්ත්වයක් වැලදුණත් ඒත් සමග ජීවිතයේ ඉදිරියටගමන් කරන්නට අපි සූදානම් විය යුතුයි. ධෛර්ය සම්පන්න විය යුතුයි.
දියවැඩියාව නිට්ටාවටම සුව කිරීමට බැහැ. ඊට හේතුව වෙන්නේ අග්න්‍යාශයේ බීටා සෛල සදාකාලිකවම මරණයට පත් වීමයි. මරණයට පණ දෙන්න බැහැ වගේම මේ මියගිය බීටා සෛලවලටත් නැවත පණ දෙන්න බැහැ. ඒ නිසා දියවැඩියාව නිට්ටාවටම සුව කළ හැකිය යන්න වැරදි වැටහීමකි.
දියවැඩියා රෝගියෙක් ප්‍රතිකාර ලබා ගත යුත්තේ කොහොමද…?
දියවැඩියා තත්වයට සාමාන්‍ය රජයේ ලියාපදිංචි සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීම ප්‍රමාණවත්. ඒ වුනත් ඔබට මේ රෝගය නිසා විවිධ සංකුලතාවයන් තිබෙනවා නම් ඔබේ වෛද්‍යවරයා විසින් ඔබ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු කරාවි. ඒ උපදෙස් ඔබ අනිවාර්යෙන්ම පිලිගන්න.
ඔබ දියවැඩියා රෝගියෙක් බව දැනගත් විට,
දියවැඩියා රෝගය ගැන තහවුරුව දැන ගත් විට බොහෝ අය ඒ ගැන විශ්වාස කරන්නේ නැහැ. තවත් අය අනවශ්‍ය විදිහට බියට, කම්පාවට පත් වෙනවා. තවත් පිරිසක් කෙසේ හෝ මේ රෝගය නිට්ටාවටම සුව කර ගැනීම පිණිස හතර දිසාවෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සහ විවිධ උපදෙස් ලබා ගන්නවා. කොහොම වුනත් ඔබේ රුධිරයේ සීනි මට්ටම අනුව දියවැඩියා තත්වයට පත්ව සිටිනවා නම් ඔබේ ජීවන රටාව අනිවාර්යෙන්ම වෙනස් කර ගැනීමට සිදු වෙනවා. එසේ නොමැතිව ඔබට එතැනින් ඉදිරියට යෑමට බැහැ.
තවත් අය රෝග ප්‍රතිකාර සහ ආහාර පාලනයෙන් රුධිරගත සීනි මටට්ම යහපත් තැනට පත් වුනාම එතැනින් ඉදිරියට නැවතත් වැරදි ආහාර සහ ජීවන රටාවකට යොමු වෙනවා. ඒ තත්වයත් වැරදියි. තවත් අය අතිශය ලෙසින් සිරුරට දුක් දෙන දුෂ්කර ප්‍රතිපත්ති වෙත යොමු වෙනවා. ඒ තත්වයත් එතරම් හොඳ නැහැ. වඩාත් හොඳ තත්වය නම් මැදුම් පිලිවෙත හෙවත් මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉදිරියට යෑමයි.
පෝෂණවේදියෙකුගෙන් උපදෙස් ගන්න
ඔබ දියවැඩියා රෝගියෙක් නම් ආහාර පාලනය වෙනුවෙන් පෝෂණ විශේෂඥවරයෙකු වෙත යොමු වීම වැදගත්. සාමාන්‍යයෙන් නිවුඩු හාල් ඒ කියන්නේ කුරුටු සහිතව, බාගෙට ඉදුනු පළතුරු, බාගෙට පිසින ලද එළවලු නම් සහ අමුවෙන්, පලා වර්ග සමග හැකි තරම් ජලය පානය වැදගත්. මෙවැනි ආහාරවල කෙඳි වැඩි නිසා පිටි, සීනි, තෙල් අවශෝෂණය වෙන්නේ අඩුවෙනුයි. ඒ වගේම ජීරණයත් සිද්ධ වෙන්නේද සෙමිනි. එවිට සිරුරේ තිබෙන ඉන්සියුලින් කාර්යක්ෂමව භාවිත වෙනවා. සෛල වටා බැඳෙන මේදය අඩු නිසා ඉන්සියුලින් ප්‍රතිරෝධයත් අඩුයි.
සීනි හැකි තරම් අඩු කරන්න. සීනි නැතුව තේ පානය කරනවා නම් වඩාත් හොඳයි. අතුරුපස විදිහට තෙල්, සීනි අවම සේ අතුරුපස තෝරා ගන්න. ආහාරයට පෙරාතුව වතුර වීදුරුවක් පානය කලොත් හෝ පළතුරක් ආහාරයට ගත්තොත් ඔබ ගන්නා ආහාර ප්‍රමාණය නොදැනීම අඩු වෙනවා. අපේ දෙමව්පියෝ ඉස්සර අන්තිම බත් ටික සතුන් වෙනුවෙන් දුන්නා. ඒ විදිහට පුරුද්දක් තිබෙනවා නම් ඔබේ ආහාරය ගැන ඔබටත් නොදැනීම පාලනයක් ඇති වෙනවා.
නිසි වෙලාවට ආහාර ගන්න
කාර්යබහුලයි කියන තත්වය නිසා අපි නිසි වේලාවට ආහාර ගන්නේ නැහැ. ඒ නිසා අපි අධික ලෙසින් බඩගිනි දැනුනාම ආහාර ලබා ගන්නා නිසා කියමනට වගේම යකෙක් කන්න ඇති වෙන බඩගින්න නිසා හොඳින් බඩ කට පිරෙන තෙක් කනවා. ඒ නිසා අපේ ආහාර පිලිබඳව කිසිම පාලනයක් නැහැ.
මාළු ආහාරයට ගන්නවා නම් කුඩා මාලු වර්ග තෝරා ගන්න. රතු මස්වල සංතෘප්ත මේදය තිබෙන නිසා රතු මස් හැකි තාක් අඩු කරන්න. සම ඉවත් කළ කුකුළු මස් ආහාරයට හොඳයි.
ඔබේ ආහාර පිසීමට ගන්නා තෙල් අසංතෘප්ත මේදයෙන් තෝරා ගැනීමත් වඩාත් වැදගත්. සුරියකාන්තා, ඔලිව්, කැනෝලා තෙල්වල අසංතෘප්ත මේදය තිබෙනවා. එළවලු තෙල් සහ පොල්තෙල් සංතෘප්ත මේදයෙන් යුක්තයි. ඒ විතරක් නොවෙයි, ඔබේ උදරය නෙරා තිබෙනවා නම් කුමන වර්ගයේ (සංතෘප්ත වේවා අසංතෘප්ත වේවා) තෙල් වුනත් අඩු කිරීම ඉතාම වැදගත්.
මද්‍යසාර පානයෙන් පසුව ඇති වෙන මත් ගතිය නිසා ආහාර පාලනය ගැන මතකයෙන් නොදැනීම ඈත් වෙනවා. ඒ වගේම මද්‍යසාරත් කැලරි බහුලයි. බයිට්වලිනුත් සිරුරට මේද සහ පිෂ්ඨය එකතු වෙනවා. මද්‍යසාර අග්න්‍යාශයටත් විෂයි.
ව්‍යායාම මගහරින්න එපා
එදා අපි සාමාන්‍ය ජීවිතයේ නොදැනීම බොහෝ වයායාම වෙනුවෙන් යොමු වුනත් අද හැම දෙනෙක්ම ශරීර හොරු කිව්වොත් වරදක් නැහැ. බොහෝ දෙනාගේ තිබෙන වැරදි වැටහීම නිසා අපි දවසේ කරන වැඩම ඇති ව්‍යායාමයට කිව්වවත් ඒ අදහස වැරදියි. අඩුම තරමින් දිනකට විනාඩි 30 – 40 ක කාලයක් ව්‍යායාම වෙනුවෙන් යොදවන්න. වේගයෙන් ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම සහ ස්වායු ව්‍යායාම මේ අතරට ඇතුලත් වෙනවා.
මෙහිදී බලාපොරොත්තු වෙන්නේ නාඩි වේගය 100 ට වඩා පවත්වා ගැනීමයි. මුලදී ඔබ සුලුවෙන් පටන් ගන්න. මෙම ව්‍යායාම කිරීමේ වාසිය තිබෙන්නේ ව්‍යායාමයෙන් පැය 48 ක් ගත වෙනතෙක් පමණයි. ඒ නිසා සතියකට දින 5 ක් වත් ව්‍යායාම කිරීම අවශ්‍යයි. මෙවැනි යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට නම් දිනපතා සිරුර වෙහෙසා වැඩ කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
ප්‍රතිකාරවලින් වෙනසක් දැනෙනවා නම් මොකද කරන්නේ
දියවැඩියා රෝගියෙක් විදිහට ප්‍රතිකාර ලබන ඔබට කිසියම් වෙනසක් දැනෙනවා නම් වෛද්‍යවරයා සමග කතා කරන්න. ඔහු ඒ වෙනුවෙන් ඔබට සහය වේවි. බොහෝ ඖෂධ වර්ගවල (long acting preparations) පෙති වර්ග තිබෙනවා. අවශ්‍ය පියවර වෛද්‍යවරයා විසින් ගනු ඇති.
ඒ වගේම ඔබ විසින් ලබා ගන්නා වෛද්‍ය සහ රුධිර පරීක්ෂණ ඇතුලු වෙනත් පරීක්ෂණ වාර්තාවන් ලිපි ගොනුවක් සේ තබා ගන්න. වෛද්‍යවරයා වෙත යන සෑම වතාවකම මේ ලිපි ගොණුවද රැගෙන යන්න. රූපවාහිනිය, අන්තර්ජාලය, රෝගය වෙනුවෙන් රචනා කරන ලද පොත් පත් කියවන විටත් විෂය විශේෂඥයින්ගේ කෘති සහ ලිපි ලේඛණ පමණක් කියවා රෝග තත්වයෙන් ආරක්ෂාව සැලසුම් කර ගැනීමට යොමු වෙන්න. වැරදි උපදෙස් වෙතින් මිදී නිසි පරිදි වෛද්‍ය උපදෙස්, ආහාර සහ ජීවන රටාව නිසා ඔබට දියවැඩියාව සමග ජීවත්වීමට පුලුවනි.