ඉන්දියාව හා පාකිස්ථානය අතර අර්බුදය මේ වනවිට අවි ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.
ඉන්දියා – පාකිස්ථාන ගැටුමේ නවතම තොරතුරු පහතින්.
නවතම තත්ත්වය : 2025-05-08
* ඊයේ (08) රාත්‍රියේ පකිස්තානය විසින් දේශසීමා ඔස්සේ පකිස්තාන ඩ්‍රෝන යානා සහ අනෙකුත් යුධෝපකරණවලින් එල්ල කරන ලද ප්‍රහාර කිහිපයක් මැඩ පැවැත්වූ බව ඉන්දියාව පවසනවා.
* ඊයේ රාත්‍රියේ, ඉන්දියාවේ සහ ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ හමුදා කඳවුරු තුනකට ඩ්‍රෝන යානා සහ මිසයිල දියත් කළ බවට ඉන්දීය හමුදාව පාකිස්තානයට චෝදනා කළ අතර, එය පාකිස්ථානය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
* ඉන්දීය පරිපාලන කාශ්මීරයේ ජම්මු නගරය තුළ බ්‍රහස්පතින්දා සවස පිපිරීම් වාර්තා වූ අතර, එයත් සමඟ එහි විදුලිය විසන්ධිවීම් ද වාර්තා වුණා.
* පාකිස්තානය පහරදෙන විට, එය ලොව පුරා ප්‍රසිද්ධ වනු ඇති බවයි පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
* ඉන්දියාව විසින් සිය රට තුළ ක්‍රියාත්මක වන සියලුම Netflix, Disney, Spotify සහ Apple Music වැනි streaming සේවාවලින් පාකිස්තානය හා සම්බන්ධ අන්තර්ගතයන් ඉවත් කරන ලෙසද ඉල්ලා තිබෙනවා.
ඊයේ මොකද වුනේ? : 2025-05-08 (6.30 PM)
* පකිස්තානය විසින් උතුරු සහ බටහිර ඉන්දියාවේ හමුදා ඉලක්ක ගණනාවක් වෙත ඩ්‍රෝන යානා සහ මිසයිල යොමු කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ කළ බව ඉන්දියාව නිවේදනය කළා.
* ඉන්දීය ඩ්‍රෝන යානා 25ක් බිම හෙළීමට කටයුතු කළ බව පකිස්තාන හමුදාව ප්‍රකාශ කළා.
* පකිස්තාන වෙඩි තැබීම් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු සහ ළමුන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දියාව පවසනවා.
* පකිස්තානය එල්ල කරන ලද සියලුම ගුවන් ප්‍රහාර තෝරාගත් ත්‍රස්ත ඉලක්ක වෙත එල්ල කළ ඒවා බවත්, පකිස්තානය විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරවලින් ඉන්දීය පරිපාලනයේ පවතින කාශ්මීරයේ පූන්ච් හි සික් ප්‍රජාව ඉලක්ක කර ඇති බවත් මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දීය විදේශ ලේකම්වරයා සඳහන් කළා.
* යුදමය මෙහෙයුම් හේතුවෙන් පාකිස්තානයේ ඉස්ලාමාබාද්, කරච්චි, ලාහෝර් සහ සියල්කොට් ගුවන්තොටුපළවල සියලුම ගුවන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
* පකිස්තානයට එරෙහි Sindoor මෙහෙයුම සම්බන්ධයෙන් ඉහළ විපක්ෂ නායකයින් දැනුවත් කිරීම් සඳහා ඉන්දීය රජය විසින් අද සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවා ඇති අතර, පාකිස්ථානය එරෙහි ඕනෑම ක්‍රියා මාර්ගයක් සඳහා ඉන්දීය විපක්ෂ කණ්ඩායම් රජයට සහාය පළ කරන බවට මේ වන විටත් ප්‍රකාශ කර තිබෙනවා.
* ඉන්දියාව විසින් පාකිස්ථානයට එල්ල කළ ප්‍රහාරයෙන් පාකිස්ථානයේ පුද්ගලයින් 31ක් මියගොස්, 57ක් තුවාල ලබා ඇති බව පාකිස්ථාන හමුදාව ප්‍රකාශ කර සිටිනවා.
* දේශසීමාවන් හිදී එල්ල වූ පකිස්තාන ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 15 දෙනෙකු මිය ගිය බව ඉන්දීය හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.
* ඉන්දීය ජෙට් යානා පහක් සහ ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම දැමූ බවත්, ඉන්දීය ප්‍රහාරයට පිළිතුරක් ලබාදුන් බවත් පාකිස්ථාන අගමැතිවරයා ප්‍රකාශ කළා.
* මේ අතර තමන් රටවල් දෙක ගැනම හොඳින් දන්නා බවත්, ඔවුන් මෙම ගැටුම නතර කරනු දැකීමට තමන්ට අවශ්‍ය බවත්, තමන්ට ඒ වෙනුවෙන් දෙයක් සිදු කළ හැකි නම් එය සිදු කරන බවත් ඉන්දියා පාකිස්ථාන ගැටුම ගැන සිය ප්‍රතිචාරය දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා.
* ඉන්දියාවේ ප්‍රහාර ලැජ්ජා සහගත සහ බියගුලු ආක්‍රමණයක් බවත්, ත්‍රස්තවාදී ස්ථාන ඉලක්ක කරගත් බවට ඉන්දියාව කරන ප්‍රකාශය අසත්‍ය බවත්, ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා මේ වන විටත් පාකිස්ථාන හමුදාවන්ට අවස්ථාව ලබාදී ඇති බවත් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාකිස්ථාන කැබිනට් අමාත්‍යවරයෙක් සඳහන් කර තිබෙනවා.
ඉන්දීය මිසයිල ප්‍රහාරය : 2025-05-06
* ඉන්දියාව විසින් පාකිස්ථානයේ ස්ථාන 09 ක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ ඉන්දියා-පකිස්තාන අර්බුදය අවි ගැටුමක් දක්වා වර්ධනය වුණා.
* මෙම මෙහෙයුම ඉන්දියාව විසින් Operation Sindoor ලෙස නම් කළා.
* ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්, ඉන්දීය ප්‍රහාරයට තීරණාත්මකව ප්‍රතිචාර දැක්වීමේ පරම අයිතිය පකිස්තානය සතු බවත්, එයට ප්‍රතිචාර දැක්වීමට ද කටයුතු කරන බවයි පකිස්තාන අගමැතිවරයා ප්‍රකාශ කළේ.
* ප්‍රහාරය එල්ල වූ දිනයේදී ළමුන් ඇතුළුව තිදෙනෙක් මියගොස් තවත් 12 ක් තුවාල ලැබූ බවට පකිස්තාන ආරක්ෂක අංශ නිවේදනය කළා.
* එම ප්‍රහාරය හෙළා දකින බවත්, මෙම ගැටුම ඉක්මනින් අවසන් වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
* ජාත්‍යන්තර දේශසීමාව හරහා ඉන්දීය හමුදා මෙහෙයුම් පිළිබඳව තමන් ඉතා කනස්සල්ලට පත්ව සිටින බවත්, ඉන්දියාව සහ පකිස්ථානය අතර හමුදා ගැටුමක් ලෝකයට දරාගත නොහැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රකාශ කළා.
ගැටුමට හේතුව : 2025-04-22
* ඉන්දියාවට අයත් ජම්මු-කාශ්මීරයේ පහළගම් ප්‍රදේශයේදී සංචාරකයන් ඉලක්ක කරගෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර, එයින් සංචාරයකයින් ඇතුළු පුද්ගලයින් 26 ක් මියගියා.
* මෙම ප්‍රහාරයත් සමඟ දෙරට අතර ගැටුම යළිත් වර්ධනය වූ අතර, ඉන්දියාව සෑම ත්‍රස්තවාදියෙකුම සහ ඔවුන්ට සහාය දක්වන්නන් හඳුනාගෙන, දඬුවම් කිරීමට කටයුතු කරන බවයි මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ.
ගැටුමේ අතීත පසුබිම :
ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරය දශක ගණනාවක් පුරා විටින් විට විවිධ වූ කැරළිවලට මුහුණදෙන අතර, එමඟින් දහස් ගණනක් ජීවිත හානි සිදුව තිබෙනවා. එහිදී අවස්ථා කිහිපයකදී සටන් විරාම ගිවිසුම්වලට ද එළඹී තිබෙනවා.