‘මම හිතනවා මම ඉපදිලා ඉන්නේ සංගීතය වෙනුවෙන් කියලා. ඒ හින්දා සංගීතය තමයි මගේ මුළු ජීවිතයම වෙලා තියෙන්නේ” – කාංචනා අනුරාධි

‘මම හිතනවා මම ඉපදිලා ඉන්නේ සංගීතය වෙනුවෙන් කියලා. ඒ හින්දා සංගීතය තමයි මගේ මුළු ජීවිතයම වෙලා තියෙන්නේ” – කාංචනා අනුරාධි

කාංචනා අනුරාධි… නම කියූ සැනින් ඔබට ඇහේ හඬ මතකයට නැඟෙන බව අපට විශ්වාසයි.
නව පරපුරේ ගායන තරු අතර, ඒ තරමට ඈ රසික හදවත්වලට සමීපයි.
කාංචනා කියන්නෙ ගායිකාවක් විතරක් ම නෙවෙයි, ඈ දක්ෂ නර්තන ශිල්පිනියක් ද වෙනවා.
ඉතින් ඈට රඟපාන්න එහෙමත් ඇරයුම් ලැබෙනවා ඇති නිසැකවම….
”රඟපාන්න ආරාධනා බොහොමයක් ලැබෙනවා. නමුත් මම හිතනවා මම ඉපදිලා ඉන්නේ සංගීතය වෙනුවෙන් කියල. ඒ හින්දා සංගීතය තමයි මගේ මුළු ජීවිතයම වෙලා තියෙන්නේ. ඒ එක්ක මගේම නිර්මාණවලට මම රංගනයෙන් දායක වෙනවා. උදාහරණයක් විදිහට, මගේම ගීත රූප රචනාවලට. ඊට අමතරව මම තවම හිතලා නැහැ ඒ දේවල් කරනවාද කියලා.

අපිට අපේ ගමන සාර්ථකව ඉස්සරහට යන්න නම්, ඊට අපේ ළඟම පිරිසගෙන් ලැබෙන සහයෝගය සෑහෙන්න වටිනවා.

කාංචනාටත් ඉන්නවා එහෙම සහයෝගය දක්වන ආදරණීය පවුලක්.
”ඒක වචනයෙන් කියලා නිම කරන්න බැරි මාතෘකාවක්. මගේ ආරම්භයේ ඉඳලා මම ඉපදුණු දවසේ ඉඳලා මේ මුළු ජීවිත ගමනටම සහයෝගය දුන්නේ මගේ පවුල. මගේ අම්මා, තාත්තා, අක්කා, කිරි අම්මා මේ හැම දෙනාම මට පුදුම ආදරයක් තියෙන්නේ. ඒ හැම දෙනාගේම ධනය, කාලය හැමදේම මම වෙනුවෙන් ලබාදුන්නා. ඒ ශක්තිය ලැබුණු හින්දයි මට සංගීතය පැත්තෙන් මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ”

වර්තමානයේ සංගීත ක්ෂේත්‍රය ගැන විවිධ වූ කතා ඇහෙනවා. ඒ ගැන කාංචනාට තියෙන්නෙ මෙහෙම අදහසක්.
”ඕනෑම ක්ෂේත්‍රයක් දවසින් දවස දියුණු වෙනවා වගේම ඕනෑම ක්ෂේත්‍රයක අභිවෘද්ධිය වෙනුවෙන් අපි කටයුතු කරන්න ඕනෑ. අපි අද හෙට ගැන විතරක් හිතලා නෙමෙයි අනාගතය ගැන හිතලා තමයි අද දවසේ අපේ වැඩකොටස ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කරන්න ඕනෑ. සංගීතය ක්ෂේත්‍රය විවිධ අංගවලින් සමන්විත වෙනවා.
ඉතාම පුළුල්ව පැතිරිලා තිබෙන අතිදක්ෂයන්ගෙන් සමන්විත වුණ ක්ෂේත්‍රයක් තමයි සංගීත ක්ෂේත්‍රය. අපි හැමවෙලාවේම උත්සාහ කරන්නේ සමාජයට හොඳ දෙයක් දෙන්න. අපි මේ වෙලාවේ තබන පියවර කොයිතාක් දුරට සාර්ථකද එහෙම නැත්නම් කොයි තාක් දුරකට මේ ක්ෂේත්‍රය නඟාසිටුවන්න හේතුවෙනවාද කියන එක මතයි මුළු ක්ෂේත්‍රයකම අනාගතය තීරණය වෙන්නේ. ඉතිං කවුරු කොහොම මොන විදිහට කිව්වත් කිසි වෙනසක් නැහැ මේ ලෝකේ ස්වභාවය තමයි විවිධත්වය.
විවිධ මිනිස්සු විවිධ දේ ගැන විවිධ මත දරන්නේ. ඉතිං ඒ විවිධත්වය ඒ විදිහටම පවතින්න ඕනෑ. නමුත් ක්ෂේත්‍රයක් නඟාසිටුවන්න ප්‍රමිතියක් තිබෙන්න ඕනෑ. එහෙම තිබුණොත් තමයි මේ හැමදේම ලස්සනට ගලා ගෙන යන්නේ”

කාංචනා පෙම්වතියක් ද කියන එකත් බහුතරයකට තියෙන ප්‍රශ්නයක්නෙ,
”මේ ප්‍රශ්නය මගෙන් හැමදාම හැමෝම අහන දෙයක්. ඉතිං මම පෙම්වතියක් තමයි. මට හැමෝගෙම ආදරය කිසිම අඩුවක් නැතිව ලැබෙනවා. ඉතිං මම ඒ ආදරයෙන් පිරිලා ඉතිරිලා ඉන්නේ. ඒ ආදරයට බොහොම ආදරයෙන් ස්තුතිවන්ත වෙනවා මමත් ඒ හැම දෙනාටම ගොඩාක් ආදරෙයි”

උපුටාගැනීම : දිනේෂ් විතාන | මීවිත

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *