පාකිස්තානු චිත්‍රපට හා රූපවාහිනී නිළි හුමෛරා අස්ගර් අලි (වයස 32) ගේ මෘත දේහය පසුගිය 2025 ජූලි 08 වන දින කරාචි නුවර ඇගේ කුලී නිවසක දී සොයා ගන්නා ලදී. ඩිෆෙන්ස් හවුසිං ඔතෝරිටි (DHA) ෆේස් VI ප්‍රදේශයේ පිහිටි නිවසේ සිරුර දැඩි දිරාපත් තත්ත්වයේ තිබූ අතර, 2024 මුල සිට ගෙවා නොතිබූ කුලී මුදල් හේතුවෙන් කලකිරුණු ගෘහ හිමියා අධිකරණ නියෝගයක් මගින් ඉවත් කිරීමක් ඉල්ලා සිටීමෙන් පසුව මෙම සොයාගැනීම සිදු විය.
පොලිසිය අධිකරණ නියෝගය අනුව අගුලු දමා තිබූ නිවස කඩා එහි ඇතුළු වූ අතර, නිළියගේ මෘත දේහය සොයා ගන්නා ලදී. පොලිස් වාර්තා අනුව, සොයා ගැනීමට දින 20 ක් එනම් සති දෙක තුනකට පමණ පෙර සිට දේහය එම ස්ථානයේ තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
හුමෛරා වසර ගණනාවක් තිස්සේ එම කුලී නිවසේ තනිවම ජීවත් වූවාය. පාකිස්තානු රූපවාහිනී හා සිනමාවේ ඇය ප්‍රකට චරිතයක් වූ අතර, ජස්ට් මැරීඩ්, එහ්සාන් ෆරාමෝෂ්, ගුරු, සහ චල් දිල් මෙරේ වැනි රූපවාහිනී වැඩසටහන් සඳහා දායක වී ඇත. එමෙන්ම ජලායිබී (2015) සහ ලව් වැක්සීන් (2021) වැනි චිත්‍රපටවල ද ඇය රංගනයෙන් දායක වී තිබේ.
2022 වසරේ තමාෂා ගර් නම් රියලිටි ෂෝ එකේ සහභාගීත්වයෙන් පසු ඇය වඩාත් ප්‍රකට වූ අතර, සමාජ මාධ්‍ය තුළ විශාල අනුගාමික පිරිසක් ද සිටියහ.
පොලිසිය සඳහන් කරන්නේ නිවස ඇතුළතින් අගුලු දමා තිබූ බැවින් අපරාධයක ලක්ෂණ වහාම දක්නට නොලැබුණු බවයි. මරණයේ හේතුව තවමත් පරීක්ෂණයට ලක් කරමින් පවතී. ඇගේ සිරුර ජින්නා පොස්ට්ග්‍රැජුවේට් මෙඩිකල් සෙන්ටර් වෙත මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර, පොලිස් ශල්‍ය වෛද්‍යවරයා දේහය දැඩි දිරාපත් තත්ත්වයේ පැවති බව සටහන් කර ඇත.
බලධාරීන් තවමත් මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන අතර, ඇගේ දුරකථන වාර්තා හරහා ඥාතීන් අමතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරමින් සිටී.
පාකිස්තානු මාධ්‍ය වාර්තා කරන පරිදි, හුමෛරාගේ පියා සහ සහෝදරයා ඇගේ මෘත දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් පොලිසියට පවසා ඇත්තේ “අප ඇය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැත. අපි බොහෝ කලකට පෙර ඇය සමඟ සියලු සබඳතා අත්හැර දැමුවෙමු. ඇගේ මෘත දේහය සමඟ ඔබට අවශ්‍ය දෙයක් කරන්න. අපි එය භාර නොගන්නෙමු” යනුවෙනි.
මේ අතර, ලාහෝර්හි මෙහර් බානෝ නම් තරුණියක් සමාජ මාධ්‍ය හරහා හුමෛරාගේ මෘත දේහය භාර ගැනීමට ඉදිරිපත් වී ඇති බව ප්‍රකාශ කර ඇත. ඇය සඳහන් කරන්නේ අද දින හුමෛරාගේ අවමංගල්‍ය චාරිත්‍ර සම්පූර්ණයෙන් සිදු කරන බවයි.
හුමෛරාගේ අකල් මරණය පාකිස්තානු රසිකයින්ට දැඩි කම්පනයක් ගෙන දී ඇති අතර, මෑතකදී කරාචිහිදී සිදු වූ තවත් පාකිස්තානු නිළියක වන ආයෙෂා ඛාන්ගේ අවාසනාවන්ත මරණයෙන් පසුව මෙය සිදුවී තිබේ.
හුමෛරා පාකිස්තානයේ බොහෝ රූපවාහිනී වැඩසටහන්වල රංගනයෙන් දායක වී ඇති අතර, රසිකයන් අතර ඉතා ජනප්‍රිය චරිතයක් විය. ඇගේ මරණය පිළිබඳ පුවත පැතිරීමෙන් පසු ඇගේ රසිකයන්ට දැඩි කම්පනයක් ඇති වී තිබේ.