ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 24 වැනි සැතපුම් කණුව ආසන්නයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගියේ ඉකුත් සිකුරා රාත්රියේදී.
ජීවිත 15ක් බිලිගත් මෙම ඛේදවාචකයේදී “1990 සුව සැරිය” ජාතික ගිලන් රථ සේවයේ කඩිනම් ක්‍රියාන්විතය බොහෝ දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හේතුවුණා.
සුව සැරිය පළමු ගිලන් රථය අනතුරු ස්ථානයට ළඟා වීමට ගතවූයේ විනාඩි හතක් වැනි කෙටි කාලයක් පමණයි. ගලවා ගැනීමේ මෙහෙයුමකදී කාලය යනු තීරණාත්මක සාධකයක්. මෙම අතිශය දුෂ්කර මෙහෙයුම සුව සැරිය කඩිනම් සම්බන්ධීකරණයේ සහ වෘත්තීය භාවයේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි.
අනතුරේ බරපතලකම තක්සේරු කළ සුව සැරිය කණ්ඩායම ඇල්ල, බණ්ඩාරවෙල, බදුල්ල, බුත්තල, හාලි-ඇළ, වැල්ලවාය සහ බඩල්කුඹුර ඇතුළු අවට පිහිටි ස්ථානවලින් තවත් ගිලන් රථ හයක් අනතුරු ස්ථානයට කැදවා තිබුණා.
“මෙය සම්බන්ධීකරණය, භූගෝලීය පිහිටීම සහ හදිසි අවශ්‍යතාවය අතින් මෑතකදී සිදු වූ වඩාත්ම අභියෝගාත්මක මෙහෙයුම් වලින් එකක්,”සුව සැරිය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළා.
“අපගේ කණ්ඩායම් පීඩනය යටතේ කඩිනමින් හා වෘත්තීය මට්ටමකින් ක්‍රියා කළා.”
තුවාල ලැබූ මගීන් දහතුන් දෙනෙකුගේ තත්ත්වය ස්ථාවර කර රෝහල් වෙත මාරු කර යැවීම සඳහා සුව සැරිය කටයුතු කොට තිබුණා. හදිසි වෛද්‍ය ,කාර්මික ශිල්පීන්, ගිලන් රථ රියදුරන්, සහ මෙහෙයුම් මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් එක්ව වියත් කළ මෙම මෙහෙයුම ඓතිහාසික මෙහෙයුමක්. ඔවුන්ගේ මෙම කඩිනම් සහයෝගීතාව, තුවාල ලැබූවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට තීරණාත්මක වුණා.
මෙම ක්‍රියාවලියට ශ්‍රී ලංකා පොලීසිය, යුද හමුදාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කණ්ඩායම්, සහ ප්‍රදේශවාසීන් ද සුවිශේෂී සහායක් ලබා දුන්හ. විශේෂයෙන්ම මාර්ගයේ ඉඩකඩ ලබාදෙමින් ඔවුන් පහසුකම් සැපයුවා. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආචාර්ය අසංග වෙදමුල්ල මහතාගේ සහයෝගය ද අගය කළ යුතු දෙකක් වුණ බවයි “සුව සැරිය” සඳහන් කලේ.
2016 වසරේ සිට ක්‍රියාත්මක වන සුව සැරිය සේවාවට මෙම ඇල්ල -වැල්ලවාය මෙහෙයුම අනාගතයේදී සිදුවිය හැකි බහුවිධ ආයතන සම්බන්ධ වන ප්‍රතිචාර දැක්වීම් සඳහා ආදර්ශමත් සිද්ධියක් ලෙස සැලකෙනවා.
by TaboolaSponsored Links
You May Like