ලග්න 5කට සුබ ඵල කැන්දන පූර්ණ චන්ද්‍රග්‍රහණය ඔබට කොහොමද? ලග්නයෙන් ලග්නයට තොරතුරු මෙන්න…

ලග්න 5කට සුබ ඵල කැන්දන පූර්ණ චන්ද්‍රග්‍රහණය ඔබට කොහොමද? ලග්නයෙන් ලග්නයට තොරතුරු මෙන්න…

 

මේ කියන්න යන්නේ ග්‍රහඵල ගැන ඇහෙන අලුත්ම කතාව..

මේ චන්ද්‍රග්‍රහණයේ සමාරම්භය රාත්‍රී 20.58.13ට ද, ග්‍රහණ දර්ශනය ආරම්භය 21.56.54ට ද, ග්‍රහණ මධ්‍ය ලක්ෂ්‍යයට පාත්‍රවීම 23.00.34ට ද, ග්‍රහණ මධ්‍යය 23.41.39ට ද, ග්‍රහණ මධ්‍ය ලක්ෂයෙන් පිටවීම 00.23.43ට ද, ග්‍රහණ දිස්වීමෙහි අවසානය 01.26.24ට ද, ග්‍රහණ අවසානය 02.24.58ට ද යෙදෙමින් මේ පූර්ණ චන්ද්‍ර ග්‍රහණය ශ්‍රී ලාංකේය ජනතාවට දර්ශනය කෙරෙයි.

දක්ෂිණායන ශරත් සෘතුවෙහි සිංහ රවි 22 භාග බිනර මහේ පුර පසළොස්වක තිථිය ලත් බ්‍රහස්පති හිමි පුවපුටුප 01 පාදයේ සිදුවන ග්‍රහණ මධ්‍යය මෙදින රාත්‍රී 11.42ට සිදු වන අතර 2025 වසරට හිමි චන්ද්‍ර හා සූර්යග්‍රහණ හතරෙන් තුන්වැනි පූර්ණ චන්ද්‍රග්‍රහණය කුම්භ රාශියෙහි දැකගත හැකි වන්නේ ය.

අමාවක සහ පුර පසළොස්වක දිනයන්හිදී පෘථිවියෙහි විද්‍යුත් ක්‍රියාකාරී වේගය ඉතා ප්‍රබලව පවතිනු ඇත. මෙකී කාල පරිච්ඡේදවලදී ස්වාභාවික තත්ත්වයෙහි පවතින ගස්වැල්වල මල්ඵල හට ගැන්වීමෙහි අසීමිත බලය වර්ධනය වී යාම ලෝකායත ඡ්‍යොතිෂයට අනුකූල වෙයි.

රවි හිමි සිංහ රාශි ජනරජ ග්‍රහ සටහන විමර්ශනයේදී ශෝකාකූල බවක් ද මෙයින් විද්‍යමාන වන්නේ ය. ලොව පුරා ධාන්‍ය වර්ගයන්හි මෙන්ම ආහාර ද්‍රව්‍යයන්හිද විනාශය, කෘෂිකාර්මික, කාර්මික අංශවල මහා පරිමාණ අවහිර, බාධක, දුෂ්කරතා, දාමරිකබව, යුදබිය, ගිනිබිය, රහස් පහරදීම්, කුමන්ත්‍රණ, න්‍යෂ්ටික පිපිරීම් ඇති වීමට මේ ග්‍රහණය තුඩුදෙයි.

දුර්භික්ෂය, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ද්වේෂය, අධික වීමෙහි ප්‍රවණතාවයක් මෙන්ම, අපහාස, අපවාද, අවලාද කිරීම් බහුලවීම, ඇඳුම් පැලඳුම් අලෙවිය පහත වැටීම ශීඝ්‍රග්‍රාමී බවක් උසුලනු පෙනීයයි.

ගර්භිණී මාතාවන්ගේ විලිරුදා අධිකවීම, ප්‍රසූතියෙහි වේගකාරීබව, ඇතුන්ගේ මදකිපීම, උමතුරෝග උත්සන්නවීමද ප්‍රබල වෙයි. ආසියාතික රාජ්‍යයන්හි දේශපාලනික දෝලනයන් ව්‍යාප්තව යයි. සංවර්ධනය, දියුණුව අඩාළ වීමට පූර්ණ චන්ද්‍රග්‍රහණයේ බලපෑම් මතු කෙරේ.

කාලගුණික දේශගුණික සහ පාරිසරික රටාව ආශ්‍රිත විපර්යාසද භූකම්පන, පතල් ආකර ආශ්‍රිත මාරක විපත්, කැරලි කෝලාහල, කාමශක්තිය වැඩි වීම දැකිය හැකි වනු ඇත.

මේෂ රාශිය
අඟහරු හිමි මේෂ රාශියෙන් ජන්මලාභය ලැබූ ඔබගේ ජම්මපත්‍රය පුරා බුධ ආධිත්‍ය යෝග බලය මහත් වූ ජවබල සම්පන්නබවක් උද්දීපනය කෙරෙයි. රවි, බුධ, කේතු සංයෝගය ද ඔබටත් පවුලේ සැමටත් ප්‍රබලව උදාවෙයි. එහෙත් අඟහරු රෝග සතුරු ස්ථානගතවීම සොරසතුරු බලවේගවලින් අවාසි අලාභ ගෙනදිය හැකිය.

වෘෂභ රාශිය
ලග්නාධිපති සිකුරු පංචකාම සම්පත් වර්ධනය කරමින් ලෞකික වූ ජීවිතය සාර්ථක කරන්නෙකි. එහෙත් සැනසුම සතුට සමාදානය සැඟවී යන ජීවිතය කෙරෙහි කලකිරෙන බවක් ද විද්‍යමාන කෙරෙයි. කෙසේ වුවුද පදිංචි ස්ථානගතව මෙන්ම රැකියා ආදායම් මාර්ගවල සතුටුදායක බවක්ද විද්‍යමාන කෙරෙයි. 01, 06 අධිපති සිකුරු සතුරුව වික්‍රමස්ථානයේ තැන්පත්වීම හිතකර නොවෙනු පෙනී යයි.

මිථුන රාශිය
ලග්නාධිපති මෙන්ම 04 අධිපති බුධ ග්‍රහයා රවි, කේතු සමඟ 03 වැන් වූ වික්‍රමස්ථානගතව ඇත. එසේම ග්‍රහමණ්ඩලයෙහි ග්‍රහබලය බොහෝ දුරට පාප කර්තරී වී ඇත. බුධ ආධිත්‍ය යෝග බලයෙන් යම්තාක් දුරට සුබවාදී බවක් දෘශ්‍යමාන වෙයි. සමාජය සමඟ ඉදිරිකාලීන ක්‍රියාකාරකම් ශුභවාදී වන අවස්ථා යෙදෙනු පෙනී යයි. බොහෝ දුරට සංසාරගත පින්දහම්බලය හොඳින්ම ගෙනදීමකි. උසස්තම ජීවිතයක භාග්‍යය උදා වෙයි.

කටක රාශිය
ධනස්ථානගත බුධ ආධිත්‍යය යෝගබලය 02, 06, 10 අර්ථ කෝණය ජවබල කෙරෙයි. ලැබීම් අංශය සමඟ උත්සාහය උනන්දුව අනුව ආදායම් මාර්ග වර්ධනය කෙරෙනු ඇත. අර්ධ කාලසර්ප යෝගය රාහු, චන්ද්‍ර සංයෝගය 08වැන්නෙහි යෙදීම සමඟ පාපකර්තරී වූ ග්‍රහ තත්ත්වය අතිශය ශෝකාකූල වෙයි. අනවශ්‍ය නොගැළපෙන ක්‍රියාකාරකම්වලින් වැළකීමට අවධානය යොමු කළ යුතු කාල පරාසයකි.

සිංහ රාශිය
ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ රවි ග්‍රහයා ලග්නාධිපති වී ධනස්ථානාධිපති මෙන්ම අයස්ථානාධිපති සමඟ සංයෝගයෙන් තනන බුධ ආධිත්‍යය යෝගයට කේතු ග්‍රහයාද සංයෝගව සැලකිය යුතු බලයක් ලැබෙයි. මේ අනුව අනාගත අරමුණු රැසක් සාර්ථක කර ගැනීමෙහි භාග්‍යය උදා වනු ඇත. එහෙත් සෙනසුරු 08 වැන්න වූ මෘත්‍ය ස්ථානගත වීම පවුල් ජීවිතය, රැකියා ආදායම් මාර්ගවල ප්‍රශ්න මතුවීමෙහිලා හේතු වෙයි.

කන්‍යා රාශිය
කර්මස්ථානාධිපති මෙන්ම ලග්නාධිපති රවි බුධ සංයෝගයට කේතු ග්‍රහයාද සම්බන්ධවෙයි. බුධ ආධිත්‍යයෝග බලය ඇතුව 12 වැන්නේ ය. 02, 06, 10 අර්ථ කෝණය ද 04, 08, 12 මෝක්ෂ කෝණයද සුවිශේෂයෙන් ෂඩ්කෝණ දෘෂ්ටිය ජවබල සම්පන්න වෙයි. එහෙත් රෝග සතුරුකම් ආශ්‍රිතව කල්පනාකාරී විය යුතු බවද දෘශ්‍යමානවෙයි. සංසාරගත පුණ්‍යය බලය මෙන්ම වර්තමාන දැහැමි සිතුවිලිද මතු වෙයි.

තුලා රාශිය
ලග්නාධිපති මෙන්ම 08 වැන්නාධිපති සිකුරු සතුරුව 10 වැන්න වූ කර්මස්ථානගතව යෙදී ඇත. එසේම රවි, බුධ, කේතු සංයෝගයද රවි, බුධ ආධිත්‍යය යෝගය 11 වැන්න වූ අයස්ථානගතව ද සිටීම සියලුම ආකාර ලැබීම්, සබඳතා විවාහ මංගල කටයුතු ද දෙස් විදෙස් ව්‍යාපාර සාර්ථකත්වය ආදී කුදු මහත් අරමුණු සඵල කර ගැනීමේ භාග්‍යය උදා වනු පෙනෙයි.

වෘශ්චික රාශිය
කර්මස්ථානගතවත්, 02, 06, 10 අර්ථකෝණය ශක්තියටත් බුධ ආධිත්‍යය යෝග බලය යෙදීම වෘශ්චික රාශි හිමි ජන්මියාට උසස්වීම් දෙස් විදෙස් ගතවීම් ආදිය, ආශ්‍රිත වූ විජයග්‍රහණ පොකුරක් උදාකරනු පෙනීයයි. භාග්‍යය, දියුණුව, සිතැඟියාවන් සාර්ථක වන බවක් පෙනී යන්නේ ය. උසස් දියුණුව ඔස්සේ අධ්‍යාපනය, සෞඛ්‍යය, විභාග තරඟ තුරග ජයග්‍රහණ ව්‍යාපාරික ක්ෂේත්‍රය සබඳතා අවාහ විවාහ කටයුතු සියල්ල සාර්ථකත්වයට පත්වෙයි.

ධනු රාශිය
09 වැන්නවූ භාග්‍යස්ථානගත රවි, බුධ සංයෝගයෙන් බුධ ආධිත්‍ය යෝගය ධර්ම කර්මාධිපති යෝගය මූලික කොටගත් ජවබල සම්පන්න බවක් දෘශ්‍යමාන වන්නේ ය. ලෝකෝත්තර සිතැඟියාවන් ඉටුවන උසස් මානුෂික අරමුණු රැසක්ම ළඟා වන පුණ්‍ය කර්මයන් ඒක රාශිවන කාල පරාසයකි. සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව අවබෝධ කරගැනීම අ තිශය වැදගත් වෙයි.

මකර රාශිය
බුධ ආධිත්‍ය යෝගය 8 වැන්න වූ මෘත්‍යු ස්ථානගතව යෙදී ඇත. 04, 08, 12 මෝක්ෂ කෝණය ප්‍රබලව යෙදී ඇත. නිර්මාණශීලී ජන්මලාභී ඔබ ආධ්‍යාත්මය ආශ්‍රිත මනා දැනුමක් ලබනු ඇත. මේ අනුව දාර්ශනික විමර්ශනශීලී චින්තනය ඇගයීමෙහි ශක්තිය වර්ධනය වීම, නිර්මාණශීලී ක්‍රියාකාරකම් සාර්ථක වන භාග්‍යය වාසනාව ගලා එන කාල පරාසයකි. උත්සාහය, උනන්දුව ඇතොත් උසස් දිවිමඟක සාර්ථකත්වය කරා නැඹුරු වන්නේ ය.

කුම්භ රාශිය
බුධ ආධිත්‍ය යෝග බලය 7වැන්නෙහි යෙදී ඇත. එසේම සබඳතා විවාහ කටයුතු සාර්ථකත්වය දක්වන වාසනාවන්ත කාල පරාසයකි. තිරසාර කටයුතු ගණනාවක්ම සතුටුදායකව විසඳෙන උසස් අධ්‍යාපනයකට භාග්‍යය වාසනාව ළඟාවන කාල පරාසයකි. සොර සතුර බලවේග සමඟ රෝගාබාධ යෙදිය හැකිය. හදිසි තීරණ ඉක්මන් කෝප නොගෙන ආශීර්වාදයෙන් සෙත් ශාන්ති තුළින් භාග්‍යමත් වන්න.

මීන රාශිය
ආවේගශීලීබවක් දැනෙන සෑම අවස්ථාවන්හිදීම කරුණාව, මෛත්‍රීය සානුකම්පිත බව වර්ධනය වන කාල සීමාවෙකි. බුධ ආධිත්‍ය යෝගය 06 වැන්නේ ය. රෝග සතුරු උපද්‍රව ඇති වන්නේ ය. 6 වැන්න ජවබල සම්පන්නව පවතිනු ලබයි. උදාර හැඟීම්, සමුදායක් සාර්ථකත්වයට තුඩුදෙයි. කළමනාකරණය අතිශය වැදගත් වන කාලසීමාවකි. දැනුම අවබෝධ මතුකරන, ගතානුගතික පවුල් අවුල් නොකරගන්නා වූ දැහැමි උපදෙස් අනුව ක්‍රියා කිරීම වැදගත් වෙයි.
සුබසෙත පුවත්පතෙන්..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *