බර අඩුකර ඇඟ සැහැල්ලු කරන, විඩාව, මහන්සිය නැතිකරන සරල ඖෂධීය පානය…
ඉඟුරු කොත්තමල්ලි පස්පංගුව ඒත් නැත්නම් කොත්තමල්ලි වෙනිවැල්ගැට වතුර වගේ සාම්ප්‍රදායික ආයුර්වේද පානයන් ගැන අපේ හදවතේ ගැඹුරු විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය අපේ ජාන සමඟ මිශ්‍ර වෙලයි තියෙන්නේ. බහුජාතික සමාගම් පැරසිටමෝල් පෙති බොන්නට ජාතියට පුරුදු කරන්න කලින් අපි විශ්වාස කළේ වෙනිවැල්ගැට කොත්තමල්ලි වතුර ටිකයි. නමුත් මේ සමාගම් හරි ලස්සනට අපේ හදවතේ තිබුණු කොත්කැරලි කඩලා දැම්මා. ඊට පස්සේ සමහර දේවල් ගැන අපේ තිබ්බ විශ්වාසය අඩු වුනා.
නමුත් අදටත් නිරෝගීව ඉන්න බොහෝ දෙනා කොත්තමල්ලි පස් පංගුව ගැන හරි හැඟීමෙන් කතාකරනවා. ලොවම මුහුණ දෙමින් සිටින මේ කොරෝනා වසංගතයේදී යට ගිහින් තිබුණු අපේ සාම්ප්‍රදායික ඖෂධ ටික නැවත නොසිතූ විදිහට කරලියට පැමිණියා. ජීවිතේට කොත්තමල්ලි උගුරක්වත් බීලා නොහිටපු බොහෝ අය ඒ ඖෂධ වල ගුණ දිහා බලන් උන්නේ හරිම පුදුමයෙන්.
දැන් ඉදිරියට එන්න තියෙන්නේ ගිනි පිටවෙන ග්‍රීෂ්මයයි. මහපොළොව පවා ඉරිතලා යන කටුක නිඟයයි. එක වැහි රැල්ලක් නැති ඒ කටුක නියං සමයේදී අපේ ශරීරයට මොනවද නොවෙන්නෙ. ඉහ උඩින් ගිනිගෙන දැවෙන ඉර ශරීරයේ තියෙන අන්තිම ජල බින්දුවත් අකාරුණික විදිහට උරාගන්නවා. සම ඉරිතලා යනවා. මුත්‍රා මාර්ගය ආසාදනය කරනවා. මුත්‍රා දැවිල්ල ඇති කරනවා. ඇඟට දරාගන්න බැරි තෙහෙට්ටුවක් ඇති කරනවා. මොකක්ද හෝන්දුමාන්දු ගතියක් ඇතිකරනවා. නින්ද නැති කරනවා. දාහය, කෙඩෙත්තුව, මහන්සිය, අසහනය හා පීඩනය අපට ඇතිකරනවා.
ආයුර්වේදයේ මේවා ගැන ඉතා ගැඹුරින් කතාකරලා තියෙනවා. මොකද ආයුර්වේදය බිහිවුනේ ඉන්දියාව වගේ තද ග්‍රීෂ්මයක් ඇති රටකයි. වාතය, පිත සහ සෙම ත්‍රිදෝෂයන් අසමතුලිත වීම නිසා දහසක් පීඩා ශරීරයට ඇතිවෙන බව පුරාණ ආයුර්වේද පොත පතේ සඳහන්. එම නිසා හැමවිටම පාරිසරික ඍතු වලට අනුගත වෙන්නට අපට සිදුවෙනවා.
ඉදිරියේදී එළඹෙන ග්‍රීෂ්මයේ ඔබට දැනෙන අපහසුතාවයන් පිපාසයන් කෙඩෙත්තුව සහ මහන්සිය තද මුත්‍රා දැවිල්ල සම්පුර්ණයෙන්ම නැතිකර දැමීමට එක් රහසිගත සරල පානයකට පුළුවන්. ඒ රහසිගත පානය ගැන තමයි අද මේ හෙළිදරව්ව.
මේ පානය ඉන්දියාවේ හඳුන්වන්නේ CCF Drink ලෙසයි. එයින් සංකේතවත් වන්නේ ආයුර්වේදයේ රන් හා සමාන ඖෂධ වර්ග තුනකුයි.
C – Coriander – කොත්තමල්ලි
C – Cumin – සූදුරු
F – Fennel – මාදුරු
මේ අසීමිත ගුණ ගෙනදෙන, ත්‍රිදෝෂයන් නිසා ඇතිවන අපහසුතා අවම කරන, මුත්‍රා දැවිල්ල නැතිකරන, දාහය කෙඩෙත්තුව අවම කරන, මානසික තෝන්තුව අඩු කරන, මානසික පීඩනය නැතිකරන, එසේම ඔසප් වේදනාවද අඩුකරන පානයක්.
මෙය ඉන්දියාවේ භාවිතා වන්නේ සාමාන්‍ය තේ පානයක් ලෙසයි. මුළු ඉන්දියාව පුරාම දරාගත නොහැකි ග්‍රීෂ්මයක් තිබෙනවා. බොහෝවිට කාර්යාල වල අය පවා මේ සූදුරු, මාදුරු, කොත්තමල්ලි තේ පැකට් ළඟ තබාගෙනයි ඉන්නේ. ඔවුන්ට ඇතිවන දහසක් අසීරුතා එක පුංචි තේ පානයකින් ඔවුන් නැතිකර ගන්නවා.
අපිට කොත්තමල්ලි බොන එක නුපුරුදු දෙයක් නෙමෙයි. ඒක පරම්පරාවෙන් පරම්පරාවට හුරු වෙච්ච රසයක්. ඉතින් මේ පිච්චෙන දැවෙන ග්‍රීෂ්මයේ අපිත් CCF Tea Drink එකක් බොමු.
සූදුරු කොත්තමල්ලි මාදුරු පානය සාදාගැනීමට අවශ්‍ය දේවල් :-
• කොත්තමල්ලි ඇට තේ හැඳි 01 යි
• සූදුරු ඇට තේ හැඳි 1/2 යි
• මාදුරු ඇට තේ හැඳි 1/2 යි
සාදාගන්නා ආකාරය
01. මේ සියල්ල යන්තමට මේසය මත තබා තලා කෝප්පයකට දමාගන්න.
02. දැන් නටන වතුර කෝප්පයක් එයට දමන්න. හොඳින් වසා තබන්න.
03. විනාඩි 20 කට පසුව මේ පානය ගෙන පෙරා බොන්න.
දවසේ ඕනෑම වෙලාවක මේ තේ පානය පානය කළ හැකියි. විශේෂයෙන් කෑම ගැනීමෙන් පසුව විනාඩි 30 කට පසු මේ පානය ගැනීමෙන් ශරීරයේ බර අඩුවෙනවා. පුදුමාකාර සැහැල්ලුවක් ඇතිවෙනවා. වඩාත්ම වටින්නේ ගතට දැනෙන ඒ සැහැල්ලුවයි.
පසුගිය ලිපි
© හෙළ අරණ
චායාරුව: හෙළ අරණ

Posted inUncategorized