සුනාමියට වසර 20යි
අදින් වසර 20 කට පෙර, එනම් 2004 දෙසැම්බර් 26 වැනි පුර පසළොස්වක පොහෝ දිනයදාට මාගේ මතකය දිවයයි. එදිනලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය මහජනයා සඳහා විවෘත කෙරෙන උත්සවය සහ ඊට පසුදා 27 වැනිදා යාල ජාතික උද්‍යානයේදීපැවැත්වෙන තවත් උත්සවයක් සඳහා අපට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආරාධනා ලැබී තිබිණි. ආරාධනා ලැබී තිබුණාපමණක් නොව, එවක වනජීවී අධ්‍යක්ෂ ජනරාල් දයානන්ද කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන් අප මාධ්‍යවේදී කණ්ඩායමකට, ප්‍රවාහනපහසුකම් සපයා දී ලුණුගම්වෙහෙර විවෘත කිරීමේ උත්සවය ආවරණයෙන් පසු, උද්‍යානයේ සංචාරය කර, එදින රාත්‍රියේ යාල ජාතිකඋද්යානයේ “පටනංගල” සංචාරක නිවහනේ නතර වන්නට නේවාසික පහසුකම් ද සූදානම් කර තිබිණි.
මාගේ මතකය නිවැරදි නම් එදින උදෑසන උඩවලව ජාතික උද්‍යානයට අයත් “ඇත් අතුරු සෙවණේ” ද යම් උත්සව අවස්ථාවක් තිබුණාමතකය. අනතුරුව ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය විවෘත කිරීමේ උත්සවය එවක පරිසර සහ වනජීවී අමාත්‍ය බන්දුල බස්නායක, නියෝජ්‍ය අමාත්‍ය පන්ඩු බණ්ඩාරනායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති බැවින් මාධ්‍යවේදී අප සියල්ලෝ සහ වනජීවී නිලධාරීන් ලහිලහියේ උඩවලවෙන් ලුණුගම්වෙහෙර බලා පිටත්ව යමින් සිටියහ.
ලියුම්කරු නැගගත්තේ එවක වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ, වර්තමාන සාගර විශ්වවිද්‍යාලයේ උපකුලපති වසන්ත රත්නායක මහතාගේරාජකාරි කැබ් රථයටය. එහි නැගී උඩවලව ජලාශ වේල්ල මතින් ලුණුගම්වෙහෙර (තණමල්විල) දෙසට ගමන් කරමින් සිටි අපට කැබ්රථයේ ඒ මොහොතේ පණගන්වා තිබුණු ගුවන් විදුලි යන්ත්‍රයෙන් එක දිගට “බ්‍රේකින් නිව්ස්” වැළක් අසන්නට ලැබිණි. ඉන් කියැවුණේත්‍රිකුණාමලය, කල්මුණේ ප්‍රදේශයේ මුහුද ගොඩගලමින් පවතින බවකි. කිසිදාක අසා නොතිබූ මේ සංසිද්ධියෙන් අපගේ කතා සියල්ලගොළුවී ගියේ ය. මාගේ සිතිවිල්ල වූයේ මුහුද ගොඩගලන්නට නම්, දැවැන්ත උල්කාපාතයක් මුහුදට වැටෙන්නට ඇති බවකි. නමුත් එවැනිප්‍රවෘත්තියක් ඒ වන විට වාර්තා වී තිබුණේ නැත. සියලු දෙනාගේ මුහුණුවල ඇඳුණේ කුතුහලය මුසු ප්‍රශ්නාර්ථයකි. මේ අතර වසන්තරත්නායක මහතා මුහුදු ඉමේ ඇති අම්පාර, (යාල නැගෙනහිර) කුමන ජාතික උද්‍යානය සහ යාල උද්‍යාන නිලධාරීන් සම්බන්ධ කරගනිමින්සිද්ධිය කුමක්ද යන්න ගැන කරුණු සොයාබලන්නට වෙහෙසුණේය. ඉන් ගම්‍ය වූයේ ඒ වන විටත් කුමන ජාතික උද්‍යානයටද මුහුදකඩාගෙන පැමිණ ඇති බවක් හා සේවකයන් විතැන්ව කලබලයක සිටින ආරංචියකි. සුනාමියක් තියා සුනාමි ගැන වචනයක්වත් ඒ වනවිටඅසා නොතිබුණු අපට මෙය මහා ප්‍රශ්නාර්ථයක් වූ අතර කරන්නට හැකිව තිබුණේ වහා රථයේ වේගය වැඩි කර යන දෙසටම රථයපදවාගෙන යෑමටය. රියැදුරුට උපදෙස් දුන් රත්නායක මහතා කීවේ හැකි ඉක්මණින් ලුණුගම්වෙහෙර–යාල දෙසටම යමු කියාය. මන්ද ඒවන විටත් අමාත්‍යවරුන්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිස් අපට පෙර ඒ දෙසට ගොස් සිටි නිසාය.
තවත් පැයකදී පමණ අප ලුණුගම්වෙහෙර ජාතික උද්‍යාන මූලස්ථානය වෙත පැමිණි අතර, එහි පවත්වන්නට නියමිතව තිබුණු උත්සවය ඒවන විටත් අවලංගු කර නිලධාරීන් සහ අමාත්‍යවරුන් ද යාල උද්‍යානය බලා පිටත්ව ගොස් සිටියේ මුහුදු ගොඩගැලීම ඒ වන විටත් යාලජාතික උද්‍යානයටද පැමිණ තිබුණු නිසාය. කැබ් රථයේ තිබුණු රේඩියෝ සෙට් මගින් කතාකරමින් රත්නායක මහතා සහ රියැදුරුතිස්සමහාරාමය දෙසට ගමන් ගන්නා අතරතුර යාල ජාතික උද්‍යානයේ අභ්‍යන්තර නිලධාරීන් සම්බන්ධ කරගන්නට උත්සාහ දරන ලදඅතර, එහි ප්‍රතිඵලයක් ලෙස අපට දැනගන්නට ලැබුණේ සංචාරකයන් විශාල පිරිසක් සහ වනජීවී නිලධාරීන් පිරිසක් ද මුහුද ගොඩගැලීමනිසා අනතුරට පත්ව හා අතුරුදන්ව සිටින බවයි. අප ගමන් ගන්නා තණමල්විල – තිස්ස මාර්ගය ඒ වන විටත් කඩි ගුලක් අවිස්සුනාක් මෙන්රථවාහන තදබදයකට ලක්වෙමින් තිබුණු අතර, ලොරි, ට්‍රැක්ටර්, කාර්, යතුරුපැදි වැනි වාහන රැසකින් පිරිස් අවතැන්ව ඉදිරියට ඇදෙනසෙයක් පෙනිණි. අපිද තිස්සට පැමිණ, එතැනින් යෝධ කණ්ඩිය මැදින් ගොස් යාල කටගමුව පිවිසුම හරහා “පලටුපාන” උද්යානමූලස්ථානයට ළඟා වීමු. ඒ වන විට පෙරවරු 10.00 ට ආසන්න වී තිබිණි. යාල උද්‍යාන මූලස්ථානය තුළ ජීප් රථ ඇතුළු වාහන තදබදයක්පැවති අතර මුළු යාල, පලටුපාන ප්‍රදේශයේ මුහුදු ඉම එකම විශාලාවක් බවට පත්ව තිබිණි. මුහුද ගොඩ ගලා ගස් වැල්, බිමට සමතලා වීතිබිණ. සිදුව ඇති විනාශය සිතාගන්නටවත් නොහැකිව සියල්ලෝම තුෂ්නිම්භීතව පසුවූ අතර, රටේ වෙනත් ප්‍රදේශයන්හි තත්ත්වයපිළිබඳව අපට ඒ වන විට කිසිදු අවබෝධයක් තිබුණේ නැත.
වනජීවී අධ්‍යක්ෂ ජනරාල් කාරියවසම් මහතා සහ අමාත්‍යවරුන් පලටුපාන පිවිසුමෙන් ඒ වන විටත් යාල උද්‍යානය තුළට ගොස් තිබුණුඅතර, උද්‍යානය තුළ අනතුරට ලක්වූවන් සොයා අපගේ වාහන ද පිටත්ව යන්නට තීරණය කෙරිණි. නමුත් ගැටලුවකට තිබුණේ කිසිදානොදත් මෙම මුහුදු ගොඩගැලීම යළිත් පැමිණේදැයි සියල්ලෝ තුළම තිබුණේ මහත් කුකුසකි. මේ නිසා ඇතැම්හු උද්‍යානය තුළට යෑමටමැලිකමක් දැක්වූහ. නමුත් යන වාහනවල අප උද්‍යානය තුළට යන්නට කටයුතු කළ අතර, ලියුම්කරුද තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනකුසමග කැබ් රථයක එල්ලී උද්‍යානයට ගමන් ගත්තෙමු. මේ වන විටත් පලටුපාන දක්වා පැමිණ තිබුණු මුහුද ගොඩගැලිල්ලෙන් පළාතමසුන්බුන්වලින් වැසී තිබිණි. ප්‍රදේශයම දකින්නට ලැබුණේ එකම තැනිතලාවක් ලෙසිනි. මුහුදු වතුරවලින් පිරුණු පහත් බිම් අප දුටුවේ මුහුදටයාවූ එකම ජලාශයක් ලෙසෙනි. එසේම, ප්‍රදේශයෙන් වහනය වූ ලවණ මිශ්‍ර දුර්ගන්ධය කිසිදා විඳි එකක් නොවේ. බොහෝ විට කරදියවගුරුවලින් නැගෙන ගන්ධයට සමාන එහෙත් ඊටම මිශ්‍රව නැඟුණු කොළ ගඳ වැනි වඩා දෙගුණ, තෙගුණව දැනුණු දුර්ගන්ධය අපේ නාස්හකුළුවාලීය.
මද වෙලාවකින් පලටුපාන උද්‍යාන දොරටුව පසුකර අප යාල ප්‍රධාන මාර්ගයේ ගමන් කළ අතර, ප්‍රදේශයම වැසී තිබුණේ මහා භයංකරසෙවණැල්ලකිනි. එම මාර්ගය සම්පූර්ණයෙන්ම සුනාමියට (මුහුදු ගොඩගැලිල්ලට) හසුව තිබුණේ නැතත්, මුහුදට නිරාවරණයව තිබුණුස්ථාන ගණනාවකම අප ගමන් ගත් මාර්ගය (පලටුපාන – මැණික් ගඟ ආර්.ඩී.ඒ. මාර්ගය) පසු කර කිලෝමීටරයකටත් වඩා ගොඩබිමටමුහුද කඩාගෙන ගොස් තිබුණු අතර ඒ තැන් සියල්ලකම තිබුණු ගස් ගල් ගොඩබිම දෙසට පෙරළාගෙන පැමිණ තිබිණි. අප ඒ හරහා යමින්මීට හෝරාවකට පමණ පෙර පැමිණි සුනාමි ඛේදවාචකයේ සුන්–බුන් නිරීක්ෂණය කළ අතර, අනතුරුව “පටනංගල” හන්දියට පැමිණියෙමු. මුහුදට නිරාවරණය වන තැනිතලා ප්‍රදේශයක් වන මෙහි අප දුටුවේ පටනංගල හන්දියේ තිබුණු පලු ගහ මත අඩි 20 කටත් වඩා ඉහළින්ඇඳක විට්ටමක් රැඳී තිබෙන ආකාරයයි. නියත වශයෙන්ම ඒ එදින රාත්‍රියේ අප වෙනුවෙන් රාත්‍රිය වෙන්කර තබන ලද “පටනංගල” වනජීවීසංචාරක නිවහනේ පැවති ඇඳන් 10 න් එක ඇඳ විට්ටමකි. මන්ද මේ ඉසව්වේ තවත් නිවාස හෝ ගොඩනැඟිලි නැති නිසාය.
අනතුරුව සුන්බුන් මැදින් අප පටනංගල මුහුදු ඉම දක්වා ගියේ යාල ජාතික උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ට තම වාහනවලින්බසින්නට ඉඩ දෙන එක තැනක් මේ නිසා සුනාමිය පැමිණෙන විට එහි සැළකිය යුතු සෙනඟක් එහි සිටින්නට ඇති යන අදහස ඇතිවතත්ත්වය සොයා බලන්නටය. දුටු දසුනෙන් අප හිත් කීරි ගැසී ගියේය. සුඛෝපභෝගී වාහන ඇතුළු වාහන රැසක් ඒ වන විටත් තිබුණේමුහුදේ ය. එහි සිටි හෝ වෙරළේ සිටි මිනිසුන්ට සිදුවූයේ කුමක්ද යන්නවත් අසන්නට එහි කෙනෙක් සිටියේ නැත. වෙරළ ආසන්නයේ තිබුණුගොඩනැඟිලි ඇතුළු මහා වෘක්ෂ පවා බිමටම සමතලා වී තිබිණි. ඉදින් මිනිසුන් ගැන කුමන කතාද..? අනතුරුව අප සොයා බැලුවේ“පටනංගල” වනජීවී සංචාරක බංගලාව ගැනය. එහි පාදම හැරෙන්නට කිසිදු දෙයක් ඉතිරිව තිබුණේ නැත. කොටින්ම එහි සිටි වනජීවීකාර්ය මණ්ඩලය එනම්, එදින රාත්‍රී අපට කන–බොන දෑ හදා දෙන්නට සිටි බංගලා භාරකරු සහ සහායක යන දෙදෙනාද සුනාමියනොහොත් මුහුද ගොඩගැලීම මගින් අතුරුදන් කර තිබිණි. එහෙත් වාසනාවක තරම, එදින මෙම බංගලාව වෙන්කරගෙන සිටි සංචාරකනඩය උදෑසන ආහාර වේල සකසා තබන ලෙස බංගලා සේවකයන්ට පවසා සතුන් බලන්නට අළුයම පිටව ගොස් තිබුණු අතර මා දන්නාතරමට ඔවුන්ගේ ජීවිත ගැලවිණි.
එකොව ගිහින් මෙලොව ආ පැරෑලියේ සුනාමි දුම්රිය කැනේඩියන් එම්-2-591
තත්ත්වය අති භයානක විය. මුළු පටනංගල ම විශාලාවක් බවට පත්ව තිබිණි. ඒ අතර මුහුදු වෙරළ ඇතුළු ජීප් රථවල සෆාරි ගමනේයෙදුණු සංචාරකයන්ගේ මළ සිරුරු පටනංගල ප්‍රදේශයේ ලඳු කැලෑ අතර විසිරී තිබිණි. වනජීවී කණ්ඩායම් මළ සිරුරු සොයා ප්‍රදේශයපීරමින් සිටි අතර, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් දයානන්ද කාරියවසම් ඇතුළු නිලධාරීන්ද එහි සිටියා මතකය. අපිදු දුර්ගන්ධය පැතිරුණුසුන්–බුන් මැදින් ගොස් මියගිය අයගේ මළ සිරුරු පිරික්සා බැලූ අතර සුනාමි ව්‍යසනයට ගොදුරු වූ ජපාන සංචාරක නඩයක කිහිපදෙනකුගේම මළ සිරුරු කැලෑ අතරින් ගොඩට ගෙනෙන්නට අපිද අපේ ශ්‍රමය වැය කළෙමු. එදින හිරු බැස යන තුරුම අප ගත කළේ මේපටනංගල හා යාල උද්‍යානයේ මළ සිරුරු සොයන මෙහෙයුමේ ය. කොටින්ම ආහාරයක්වත්, තේ උගුරක්වත් නැතිව ගත කළ ඒ කාලයේඅපට දයානන්ද මහතා තම වාහනයේ තිබී කඩා දුන් බිස්කට් පැකට්ටුව දිව්‍ය භෝජනයක් බවට පත්විය. බිස්කට්ටුවක් කා වතුර උගුරක් බීගතකළ දවසක් මාගේ දිවියේ තිබේ නම් ඒ සුනාමිය පැමිණි 2004 දෙසැම්බර් මස 26 වැනිදා බව කිව යුතුය. ඒ නිසාම සංචාරයකදී උදේකෑම වේල බරට කන්නට එදින සිට මම පුරුදුව සිටින්නෙමි. වන හා වනජීවී නිලධාරීන්ටද එවැනි පුරුද්දක් ඇත. ඒ දහවල් ආහාරය ගැනවිශ්වාසයක් නැති නිසාය. කෙසේ හෝ ඒ වන විටත් සංචාරකයන් 250 ක් පමණ මියගොස් හෝ අතුරුදන්ව සිටින බවට තහවුරු නොකළවාර්තා මගින් නිශ්චයකට පැමිණ උද්‍යාන නිලධාරීන් විසින් ඒ බව ප්‍රකාශයට පත්කරන ලදී. එනමුත් යාලෙන් පිට කිසිවක් අප නොදැන සිටිබැවින් අපට රටේ අනෙකුත් ප්‍රදේශවල විනාශය ගැන තක්සේරුවක් නොවීය.
එක් රැස් කරන ලද මළ සිරුරු ට්‍රක් රථවල පටවාගෙන තිස්ස රෝහල වෙත රැගෙන යද්දී අප උද්‍යානයෙන් පිටව ඒ අසළ මුහුදු ඉමේ තිබුණු“යාල විලේජ්” හෝටලය බලන්නට ගියේ හිරු බැස යන සැන්දෑ යාමයේදීය. මුහුදටම නිරාවරණය වූ සහ එහි ස්වභාවික වැලි වැටිය කපානිර්මාණය කර තිබුණු යාල විලේජ් හෝටලයේ ඉතිරිව තිබුණේ එක පැති බිත්තියක් පමණි. සංචාරකයන් රැසක්ද සමගින් අනෙකුත් සියල්ලමුහුදු රකුසා විසින් උදුරාගෙන ගොස් තිබිණි. වාසනාවකට හෝටලයේ සේවය කළ තරුණයකු වූ “ජගත් කුමාර” විදේශීය දරුවකු දබේරාගෙන ගසක එල්ලී තම ජීවිතය අපහසුවෙන් ගලවාගෙන තිබිණි. ඔහුගේ ඒ වීරෝධාර කතාව අනතුරුව එකල මම “දිවයින” පුවත්පතට වාර්තා කළෙමි. එසේ පැමිණ, යාලේ සිදුවූ විපත මම මගේ පත්තර කන්තෝරුවට වාර්තා කළේ පටනංගල කාර්යාල පරිශ්‍රයේමයිල ගහක් යට තිබුණු මේසයක් මතට නැගය. ඒ දුරකථන සිග්නල් නොමැති නිසාය. එසේම, රට පුරා විනාශය සහ ගාල්ලේ බස් රථනැවතුමේ සිදුවූ හානිය වාර්තාකරුවකු විසින් දිවි පරදුවට තබා කරන ලද වාර්තාව අපට නරඹන්නට ලැබුණේ උද්‍යාන මූලස්ථානයේ තිබුණුරූපවාහිනි යන්ත්‍රයෙනි. නමුත් 2004 සුනාමියේ සැබෑ විනාශය ගැන දැනගන්නට පසුදා සිට අපට අපගේ පත්තර කන්තෝරුවටම එන්නටසිදුවිය.
සුනාමි ව්‍යසනය සිදුවී මේ වන විට වසර 20 කි. ඒ පැමිණි සුනාමියේ බිහිසුණු, හද පාරවන කතා රැසක් ඇත. ඒ අතරින් අමතක නොවනකතාවක් සහ සිදුවීමක් වන්නේ පැරෑලිය – තෙල්වත්තේදී සිදුවූ බිහිසුණු දුම්රිය අනතුරයි. කොළඹ කොටුවෙන් පෙරවරු 06.50 ට ගමන්අරඹා ගාල්ල දුම්රිය ස්ථානයට ළඟා විය යුතුව තිබුණු කැනඩාවේ නිෂ්පාදිත “එම් – 2 ශ්‍රේණියට අයත් 591 “Manitoba” නමැති දුම්රියඑන්ජිමට සවිකරන ලද රුමේනියාවේ නිෂ්පාදිත දුම්රිය මැදිරි 08 කින් සමන්විත දුම්රිය එදා, 2004 දෙසැම්බර් 26 වැනි පොහෝදාපෙරවරු 08.40-08.50 ට පමණ තෙල්වත්තේදී මෙසේ දැවැන්ත සුනාමි මුහුදු රළ ප්‍රවාහයකට හසුව පෙරැලී සුන්–බුන් ගොඩක් බවටපත්වූයේ එහි රියැදුරු එම්.ජී.බී.කේ. ප්‍රනාන්දු, රිය සහායක ආර්. සිවලෝගනාදන්, ප්‍රධාන නියාමක ඩබ්ලිව්. කරුණාතිලක පමණක් නොව, එක් දහස් පන්සීයකට වැඩි දුම්රිය මගීන් පිරිසකගේ (හා ආරක්ෂාව පතා දුම්රියට නැග ගත්
ගම්වැසියන් පිරිසකගේ) ජීවිත බිලිගනිමින් හා අනතුරේ හෙළමිනි. දුම්රිය එම අවස්ථාවේ රතු සිග්නල් දැල්වීම හේතුවෙන් පැරෑලියේ නවතාතබාගෙන සිට ඇති අතර, ඒ වන විට පළමු උදම් රළ පහර පැමිණ ගොස් තිබී ඇත. නමුත් අනතුරුව පැමිණි දෙවැනි දැවැන්ත උදම් රළපහර අඩි 14 ක් පමණ උස ටොන් 79 ක් පමණ බරැති දැවැන්ත කැනේඩියානු යෝධ එන්ජිම රෝදවලින් වෙන්කරමින් පෙරළා දමන්නටතරම් ශක්තියක් මුදාහැර තිබූ අතර, මගීන් දහසක් පමණ සිටි දුම්රිය මැදිරි අට සී සී කඩ විසුරුවා දමා ඇත්තේ රේල් පාරේ යකඩ පීලිපවා නවා දමමිනි. මෙම සිදුවීම සුනමියකදී එකම තැනක ජීවිත වැඩිම ගණනක් විනාශයට පත්වූ ඛේදවාචකය ලෙස සැලකේ.
අනතුරුව මෙම දුම්රිය නැවත මුදාගෙන පීලි ගතකර කොළඹ ගෙන ඒමේ කටයුත්ත දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලදී. ඒසඳහා වන වගකීම එදා පවරන ලද්දේද පසුගිය සති දෙකේ දුම්රිය එන්ජින් ඉතිහාසය සහ වසර 70 ක්වූ “එම් – 2 දුම්රිය එන්ජින් වංශකතාව අප පාඨකයන් හමුවේ කතා කළ හිටපු ප්‍රධාන දුම්රිය අධීක්ෂණ කළමනාකරු එච්.එල්.ආර්. ෆොන්සේකා මහතාටය. දුම්රිය ගැටීම්, පීලි පැනීම් ඇතුළු අනතුරු සිදුවූ අවස්ථාවන්හිදී ඒවා නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම එවක එච්.එල්.ආර්. ෆොන්සේකා මහතාගේ කාර්යභාරයවී ඇත.
ඒ අනුව සුනාමි දුම්රිය නොහොත් හානියට ලක්වූ දුම්රිය එන්ජිම වූ “එම්” -591 “Manitoba” සහ මැදිරි 08 නැවත ගෙන ඒමේවගකීම භාරගන්නා ෆොන්සේකා මහතා නියෝජ්‍ය ප්‍රධාන ධාවන බල ඉංජිනේරු තනතුර දැරූ එම්. ජේ. ඩී. ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ දුම්රියකාර්ය මණ්ඩලය දෙසැම්බර් 27 වැනිදාම ඊට සම්බන්ධවී 2005 ජනවාරි මස 11 වැනිදා වන විට දුම්රිය නැවත රත්මලාන දුම්රියකර්මාන්ත ශාලාවට රැගෙන ඒම සිදුකරනු ලබයි. මෘත ශරීර ඉවත් කිරීම, සුන් බුන් ඉවත් කිරීම, ප්‍රවේශ මාර්ගයක් සකස් කිරීම, දුම්රියමාර්ගය අහිමිවීම මත ඉතා අසීරු කාර්යයක් බවට පත්වූ මෙම හානියට පත් දුම්රිය නැවත ප්‍රතිෂ්ඨාපනය සහ නැවත ගෙන ඒම ලංකාවිදුලිබල මණ්ඩලය, යුද සහ නාවික හමුදාව යන ආයතන නොමැති වී නම් දැඩි අපහසු කාරණයක් වනු ඇති බව ෆොන්සේකා මහතාකියයි. අදටත් ධාවනය කෙරෙන මෙම 591 දුම්රිය එන්ජිම යළි ධාවනයට සුදුසු ආකාරයට සකස් කිරීම සඳහා හිටපු දුම්රියසාමාන්‍යධිකාරී ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා අප්‍රතිහත ධෛර්යකින් කටයුතු කළ බවත්, රත්මලාන කර්මාන්ත ශාලාවේ උපදේශකලීලාරත්න, අතුකෝරළ මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් 2008 දෙසැම්බර් 24 වැනිදා, එනම් සුනාමියට වසර 4 ක්ගතවන මොහොතේ දෙමටගොඩ ධාවන අංශයට යොමුකර එය දෙසැම්බර් 26 වැනිදා නැවත සේවයට එක් කරන ලද බව ෆොන්සේකාමහතා පවසයි.
ජගත් කණහැරආරච්චි
ඡායාරූප –
කසුන් ශාමින්ද කුමාරසිංහ
-Sunday Divaina’
උපුටා ගැනීමකි