ජාත්‍යන්තර කාන්තා දිනයට පමණක් නොව කාන්තාවන්ට නිබඳවම වටිනාකමක් ලබා දෙන, අභිමානවත් කාන්තා පරපුරේ, ධෛර්යයෙන් සහ ශක්තියෙන් තම දිවිය ජයගන්නට වෙහෙසෙන උපාධිධාරී දිරිය තරුණියක අපට මුණ ගැසිණි. කල් තියා ඈ සමග දුරකථනයෙන් සාකච්ඡා කළ විට ඇය කියූ පරිදි හොරණ රත්නපුර මාර්ගයේ ගොස් හඳපාන්ගොඩ මාර්ගයේ කිලෝමීටර හතරක් පමණ ගමන් කර අප ඇය ඉන්න ඉසව්ව සොයා ගත්තෙමු. අප යන විටත් යතුරුපැදියක එන්ජින් කොටසක් ඉතා සීරු මාරුවට අලුත්වැඩියාවක නිරතව සිටි ඇයගේ කළු තෙලින් නැහැවුණු දෙඅත් ඇයගේ ධෛර්ය සම්පන්න බව සහ ශක්තිය කියාපෑවේය.
අප එන බව කල් තියා දැනුම් දුන් බැවින් අප හඳුනාගත් ඇය සිනහ පිරි මුවෙන් අප පිළිගත්තාය. සැබවින්ම ඇය සුන්දර තරුණියකි.
බැලූ බැල්මට අලුත්වැඩියා කර දීමට යතුරුපැදි ගණනාවක්ම ඇති බව අපට හැඟුණේ යතුරුපැදි අලුත්වැඩියා කර ගැනීම සඳහා පැමිණි කිහිපදෙනෙකුම ඇගේ ආයතනය ඉදිරිපිට බලා සිටි හෙයිනි.
තේ එකක් බීලම ඉමුද?
කාර්යබහුල වටපිටාවක් තුළ අපිට සංග්‍රහ කිරීමට තරම් ශක්තියක් ඇයට ඇත්තේය. කාන්තාවකගේ සුවිශේෂත්වයත් එය බව කියා දීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.
අපි වැඩ කරන ගමන් කතා කරමු අපගේ යෝජනාවට ඇය සිනාමුසු මුහුණින් එකඟ වූවාය.
“මගේ නම එස්. ඒ. රංගිකා ඉශාරි රත්නසේකර. හඳපාන්ගොඩ ගමේ තමයි පදිංචිවෙලා ඉන්නේ. මම තමයි පවුලේ ඉන්න එකම දරුවා. තාත්තා වෘත්තියෙන් කාර්මික ශිල්පියෙක්. අම්මා පවුල් සෞඛ්‍ය නිලධාරිනියක්. අම්ම වසර 35ක විතර සේවයකින් පස්සේ විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ තාත්තත් දැන් වැඩ කරන්නේ නෑ මට භාරදීලා තියෙන්නේ.
උපාධිය තිබියදී යතුරුපැදි අලුත්වැඩියාව රස්සාවට තෝරාගත් රංගිකා
මම හොරණ ප්‍රජාපතී බාලිකාවට තමයි සාමාන්‍ය පෙළ වෙනකං ගියේ පස්සේ මම උසස් පෙළ කරන්න හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට
ගියා. පස්සේ මම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව බාහිර උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් තමයි ලබා ගත්තේ රැකියාවක් කළා. මට හිතුනා රැකියාව කියන්නේ හරිම ඒකාකාරී වැඩක් කොච්චර ඉගෙන ගත්තත් පුටුවක වාඩිවෙලා කවුරු හරි කියන දෙයක් කරන්න විතරයි අපිට තියෙන්නේ. ඒ නිසාම මට රැකියාව එපා උනා.
මම පොඩි කාලේ ඉඳන්ම අපේ ගෙදර මොකක් හරි වාහනයක් තිබුණා ඒ වාහන කැඩුණහම ගොඩක් වෙලාවට හදාගන්නේ අපිමයි. තාත්තට කාර්මික ශිල්පී හැකියාව තිබුණා. පස්සේ කාලෙක තාත්තා ගෙදර ටයර් සේවා කරන ස්ථානයක් වගේම යතුරුපැදිවලට සේවා සපයන අලුත්වැඩියා කරන ස්ථානයක් පටන් ගත්තා. එතකොට මම ඒවායේ පොඩි පොඩි වැඩ අතපත ගානවා. නමුත් මම ඒවට යොමු වුණේ නෑ.
මම කාර්මික ක්ෂේත්රයට සම්පූර්ණයෙන් ඇවිල්ල දැන් වසර හය හතක් වෙනවා. තාත්තා තමයි මට ශක්තිය වුණේ. එයා තමයි මේවා හැම දෙයක්ම මට කියලා දුන්නේ.”
අප සමග සාකච්ඡා කරන සුළු කාල වෙලාව අතරතුර ඇය තමන්ගෙන් සේවය ලබා ගැනීම සඳහා පැමිණි පිරිසට කඩිනම් සේවාව ලබා දී පිටත් කර හරිනු දක්නට ලැබුණි.
නංගි හුළං ටිකක් ගහලා දෙන්න, නංගි පැච් එකක් ගියා දාලා දෙන්න, අක්කේ එන්ජින් එකේ සද්දයක් එනවා පොඩ්ඩක් බලන්න, බයිසිකලේ තෙල්ටික මාරු කරලා දෙන්න පුළුවන් ද, චේන් ස්පොකට් ගෙවිලා ඒක දාලා දෙන්න පුළුවන්ද, දුවේ මගේ බයිසිකලේ ලයිට් පත්තු වෙන්නේ නෑ පොඩ්ඩක් බලනවද ඇයගේ සේවා ස්ථානයට පැමිණෙන නානාප්‍රකාර පිරිසගේ සියලු ගැටලු විසඳීමට ඇය සුහදව සිනහමුසු මුහුණින් කටයුතු කරන ආකාරය පුදුමාකාරය.
“තාත්තා දැන් වැඩ කරන්නේ නෑ සම්පූර්ණ වැඩපළම මට භාර දීලා. මම තමයි දැන් කරගෙන යන්නේ සහයට සේවකයෙක් ඉන්නවා.
මට යතුරුපැදියක එන්ජින් රෙපයාර් එකේ ඉඳන් ඕන වැඩක් කරන්න පුළුවන්. ඒ වගේම මට පුළුවන් ටයර් පැච් දාන්න. ඒවා මට ඒ තරම් අභියෝග නෙමෙයි.”
හුදෙක් කාන්තාව යනු එක් රාමුවකට කොටු නොවිය යුතු අතර ලෝකය දෙස බැලූ කල කාන්තාව අධ්‍යාපන මට්ටමින් ඉහළින් සිටින්නේය. උදාහරණ වශයෙන් ලංකාවේ ප්‍රධාන ආයතන විශාල ප්‍රමාණයක ප්‍රධානීත්වය කාන්තාවන් විසින් ඉසිලීම විශේෂත්වයකි. ලෝකයේ නොයෙක් පර්යේෂකයින් ඉදිරිපත් කරන මතවලට අනුව අද වන විට ශ්‍රම බළකායෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් කාන්තාවන්ය.
උපාධිය තිබියදී යතුරුපැදි අලුත්වැඩියාව රස්සාවට තෝරාගත් රංගිකා
රංගිකා මව හා පියා සමඟ
“කාන්තාවක් හැටියට මෙවැනි වෘත්තීන් කරගෙන යන්න අපිට අභියෝග නැත්තෙම නෑ. මොකද දුවෙක් හැටියට මගෙන් දෙමාපියන්ට කරන්න ඕනේ යුතුකම් තියෙනවා. ඒවා කරන්න ඕනේ. මේ වැඩ කරන අතරවාරයේ ගෙදර දොරේ වැඩ කරන්න වෙන වෙලාවලුත් තියෙනවා. අම්මට තාත්තට බෙහෙත් හේත් ගේන්න යන්න ඕනේ. මේ ඔක්කොම එකට කරගන්නව කියන්නෙත් කාන්තාවකට අභියෝගයක්.
ගොඩක් වෙලාවට සමහරුන්ට මම මේ රැකියාව කරන එක ප්‍රශ්නයක්. සමහරු අහනවා ඇයි ඔයා මේ වගේ රැකියාවක් කරන්නෙ ගාමන්ට් එකකටවත් යන්න බැරිද ඔයා ගෑනු ළමයෙක්නේ කියල කියනවා. එයාලා දන්නේ නෑ මගේ අධ්‍යාපන මට්ටම මොකක්ද කියලවත්. මගේ අධ්‍යාපන මට්ටම දන්න මිනිස්සු අහන්නේ ඇයි ඔයාට ඉගෙන ගත්තු දෙයින් ප්‍රයෝජනයක් ගන්න බැරි කියලා. මම ගෑනු ළමයෙක් වෙලා මේ වගේ වැඩ කරන එක සමහර මිනිස්සුන්ට හරි ප්‍රශ්නයක්. එයාලා හිතන්නේ කාන්තාව එක තැනකට කොටු වෙලාම ඉන්න ඕනේ කියලා. මේ වෘත්තිය පිරිමින්ට විතරයි කරන්න පුළුවන් කියලා එයාලා හිතන්නේ. මට මම කරන වෘත්තිය පිළිබඳ ආඩම්බරයක් තියෙන්නේ. මම හිතන්නේ හැමෝටම තියෙන්න ඕනේ ආඩම්බරයක් තමන් කරන වෘත්තිය ගැන.
සමහර දවස්වලට මෙතන විතරක් නෙමෙයි මග තොටේදී දන්න හඳුනන කෙනෙක්ගේ යතුරුපැදියක් මඟ කැඩිලා තිබුණොත් ඒක හදල දෙන්න යන්න වෙනවා. ඒ වෙලාවට තාත්තත් එක්ක යතුරු පැදියෙන් යනවා. නැත්නම් අපේ ගාව වැඩ කරන කෙනෙක් එක්ක යන්න වෙනවා ඒක ටිකක් අභියෝගක් කාන්තාවක් හැටියට.
අපේ ව්‍යාපාරය තියෙන්නේ එක තැනක. ගේ තියෙන්නේ තවත් තැනක. තාත්තා නැවතිලා ඉන්නේ ව්‍යාපාරය තියෙන තැන. සමහර දවස්වලට මම වැඩ ඉවරවෙලා ගෙදර ගිහිල්ලා නාල කරලා කාලා බිල නිදාගත්තටත් පස්සේ තාත්තා කතා කරනවා ‘දුවේ බයිසිකලේ කැඩිලා අමාරුවේ වැටිච්ච කට්ටියක් ඉන්නවා මොනවා හරි කරන්න පුළුවන්ද’ කියලා. ඉතිං රෑ දහයට දොළහට හරි ඇවිල්ලා මම ඒ වැඩේ කරල දෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. මම හිතන්නේ මේක සේවාවක් කියලා.
අපේ ළඟට එන පාරිභෝගිකයෝ විවිධාකාරයි. කාන්තාවක් හැටියට ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරනකොට බොහොම පරිස්සම් වෙන්න ඕන. ඒක නිසා මට මගේ සාමාන්‍ය ජීවිතය ගත කරනවට වැඩිය වෙනස් ආකාරයෙන් තමයි මම සේවය කරන ස්ථානයේ හැසිරෙන්නේ. සමහරු හිතනවා එතකොට මම ටිකක් රළු චරිතයක් කියලා. ඒත් දන්න කට්ටිය දන්නවා මම කවුද කියන්න.
ඒ ඉඳලත් විවාහ යෝජනා එන්නැත්තෙ නෑ.”
ඇගේ ආරක්ෂකයා මෙන් නිරන්තරයෙන් ඈ ළඟ සිටින ඇගේ පියා වන එස්. ඒ. රත්නසේකර අප සමග පැවසුවේ “දුවට මම හොඳට ඉගැන්නුවා. උපාධිය කරන්න ඕනෙ කිව්ව ඒකත් කරගන්න උදව් කළා. රස්සාවකට ගියා. ඒත් එයා ඒකට ඒ තරම් කැමති වුණේ නෑ. මගේ ක්ෂේත්රයට එයා ඇලුම් කරා මේ වැඩ ඉගෙන ගන්න ඕන කිව්වා ඉගැන්නුවා. දැන් මටත් වැඩිය දක්ෂයි. දැන් මට වැඩ කරන්න බෑ අසනීප තත්ත්වයෙන් ඉන්නේ. එයාට සම්පූර්ණ වැඩපළ භාර දුන්නා. දැන් එයා තමයි කරගෙන යන්නේ මට සතුටුයි ඇත්තටම එයා අද ඉන්න තත්ත්වෙ ගැන.
යට ගියාව තුළ රාවණාගේ පටන් කාන්තාවගේ ගෞරවය ආරක්ෂා කළ උදාර ඉතිහාසයකට අප නෑකම් කියන්නෙමු. දියණියක්, සහෝදරියක්, යෙහෙළියක්, බිරිඳක් මවක් ලෙස මේ ලොව ලස්සන කරන්නට අනේක විධ දුක් කම්කටොළු විඳ දරා ගනිමින් අභියෝග පසෙකලා අනිකාගේ යහපත වෙනුවෙන් තම දිවියම කැප කරන කාන්තාවන් වෙනුවෙන් එක් දිනක් පමණක් වෙන් කිරීමට එහා ගිය ශ්‍රී ලාංකිය කාන්තාවගේ භූමිකාව වඩාත් පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කොට ඔවුන්ට ලැබිය යුතු ගෞරවය හා ආරක්ෂාව ලබාදීම සෑම දිනකම ගෙවෙන තත්පරයක් පාසා වෙන් කළ යුතු බව ‘දිවයින’ අප අවධාරණය කර සිටින්නෙමු.
නයනදුල සෙන්දනායක