විවාහ දවසෙම පියා ලෙඩ වුණා පෙම්වතාත් ලෙඩ වුණා ‘අපල’ මැද මන්දානාගේ විවාහය කල් යයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උප නායිකා ස්මෘති මන්දනා සහ සංගීත අධ්‍යක්ෂ පලාෂ් මුච්චල් අතර පැවැත්වීමට නියමිතව තිබූ විවාහ මංගල්‍යය හදිසියේම කල් දැමීමට පවුලේ සාමාජිකයන් තීරණය කර තිබේ. නොවැම්බර් 23 වැනිදා මහත් හරසරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී, ඇති වූ අනපේක්ෂිත පවුලේ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇත.
විවාහ උත්සවය සඳහා සන්ග්ලි හි පිහිටි මන්දනා ෆාම් හවුස් හි ලහිලහියේ කටයුතු සිදුවෙමින් පැවති අතරතුර, මංගල දිනයේ උදෑසන ස්මෘතිගේ පියා වන ශ්‍රීනිවාස් මන්දනා මහතාට හදිසි හෘදයාබාධ තත්ත්වයක් ඇති වී තිබේ. උදෑසන ආහාරය ගනිමින් සිටියදී ඔහුට හදිසි පපුවේ වේදනාවක් සහ අපහසුතාවක් දැනී ඇති අතර, තත්ත්වය බරපතල යැයි හැඟුණු බැවින් පවුලේ අය වහාම ඔහුව පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
තත්ත්වය වඩාත් සංකීර්ණ කරමින්, පියා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ස්මෘතිගේ අතිනත ගැනීමට සිටි පලාෂ් මුච්චල් ද හදිසියේ රෝගාතුර වී රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස පවුලේ ප්‍රධාන සාමාජිකයන් දෙදෙනෙකුම එකවර රෝහල්ගත වීම සහ ඔවුන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මංගල උත්සවය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇති අතර, පවුලේ අවධානය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ සුවය කෙරෙහි යොමු වී තිබේ.
මංගල උත්සවය අවලංගු කිරීමත් සමඟ උත්සව භූමියේ සැරසිලි ඉවත් කිරීමට කටයුතු යොදා ඇති අතර, පසුගිය දින කිහිපය පුරා පැවති හල්දි සහ මෙහෙන්දි උත්සවවල ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යවලින් ඉවත් කිරීමට ස්මෘති කටයුතු කර තිබේ. ඇයට අමතරව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවන් වන ශ්‍රේයන්කා පටිල් සහ ජෙමීමා රොඩ්‍රිගස් ද මංගල්‍යය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබූ සියලුම වීඩියෝ සහ ඡායාරූප මේ වන විට ඉවත් කර ගෙන ඇත.






