දේශීය පුවත්
ලංකාවේ අලි බලපු පළමු කාන්තාව ඥානාවතී මියයයි. මියයන්න කලින් ඇය බලපු අන්තිම අලියා ගැන හෙළිවූ සංවේදී කතාව..

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් බලාගන්නා ක්ෂේත්රයේ සුවිශේෂී සලකුණක් තැබූ, මෙරට ප්‍රථම ඇත්ගොව්වී ලෙස සැලකෙන පී. ඥානාවතී මහත්මිය (75) අභාවප්‍රාප්ත වූ පුවතක් වාර්තා වනවා.
හැඩිගල්ල දික්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය, කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස දිවියෙන් සමුගෙන තිබෙනවා.
ඇයගේ මෙම අසාමාන්‍ය ගමන ආරම්භ වන්නේ 1985 වසරේදීයි. දොම්පේ ප්‍රදේශයේ සිටි ඇය, සරත් ගාමිණී රාජපක්ෂ මහතා සමඟ විවාහ වී හැඩිගල්ලට පැමිණීමෙන් පසු ඇයගේ ජීවිතය අලි ඇතුන් සමඟ බද්ධ වුණා. 2005 වසරේදී අඹතලේ ප්‍රදේශයේ සිටි ‘ගුණේ’ නම් අලියා බලාගැනීමට තම ස්වාමිපුරුෂයා සමඟ එක් වූ ඥානාවතී, පසුව 2017 වසරේ සිට එම වගකීම තනිවම කරට ගත්තාය.
අලියෙකු මෙහෙයවීම පිරිමින්ට පවා අසීරු කාර්යයක් වුවත්, ඥානාවතී මහත්මිය ඉතා දක්ෂ ලෙස ‘ගුණේ’ අලියා මෙහෙයවමින් දිවයිනේ ප්‍රධානතම පෙරහැර රැසකට සහභාගී වී තිබෙනවා.
නුවර දළදා පෙරහැර, ලංකාතිලක, නවගමුව සහ කැලණි පෙරහැර, බෙල්ලන්විල මහා පෙරහැර සඳහා ඇය සහභාගී වෙලා තියෙනවා. ඇය මේ සෑම තැනකදීම කාගේත් අවධානය දිනාගත්තේ ‘ගුණේ’ සමඟ පෑ අපූරු සුසංයෝගය නිසාවෙන්.
මෑතකදී, එනම් 2022 වසරේදී පමණ ඇය දෙනියාය ප්‍රදේශයේ අලියෙකු බලාගැනීම වෙනුවෙන් රුපියල් 15,000ක වැටුපක් ලබමින් සේවය කර තිබෙනවා. ඇය මෙය රැකියාවකට වඩා දැඩි ලෙන්ගතුකමකින් කළ වෘත්තියක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
පසුගියදා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ඇය නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී ඇය අවසන් හුස්ම හෙළා තිබෙනවා. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය 21 වනදා බදුරලිය තුඹගල්ල ආදාහනාගාරයේදී සිදු කෙරුණා කියලා තමයි දැන ගන්න ලැබුණේ.



