ගඩොල් මිලියන 93ක් පමණ… දහස් ගණනක මිනිස් ශ්‍රමයක්… පුරාණ ඉංජිනේරු දැනුමක්… වසර 1,700කට වැඩි ආගමික උරුමයක්… සැඟවුණු ජීවමාන නගරයක දැවැන්ත කතාවක් මේක..

අද අපි ලෝකයේ දැවැන්ත ගොඩනැගිලි ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් මතක් වෙන්නේ ඊජිප්තුවේ පිරමීඩ වගේ ස්ථාන.
හැබැයි… වසර 1,700කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ නිහඬව ඉතිහාසය රැකගෙන ඉන්න දැවැන්ත නිර්මාණයක් ගැන ඔබ දැනගෙන හිටියාද?
ඒ තමයි අනුරාධපුරයේ පිහිටි ජේතවනාරාමය.
පුර පසළොස්වක පොහෝ දිනයක අනුරාධපුර පුරාණ නගරයට ගියොත්, මෙය ඉතිහාසයක් විතරක් නෙවෙයි කියලා හොඳටම තේරෙනවා.
සුදු වස්ත්‍රයෙන් සැරසුණු බැතිමතුන් පාවහන් නැතුව පුරාණ මංපෙත් දිගේ ගමන් කරනවා. අලුයම වෙද්දී සිවුරු දරාගත් භික්ෂූන් වහන්සේලාගේ පිරිත් සජ්ඣායනා හඬ ඇහෙනවා.
ඒ අතරේ ලෝකයේ විවිධ රටවලින් පැමිණෙන සංචාරකයිනුත් මේ වසර දහස් ගණනක් පැරණි ආගමික වතාවත්වලට එක් වෙනවා.
හැබැයි ජේතවනාරාමයේ ඇත්තටම තියෙන්නේ මොන තරම් දැවැන්ත ඉතිහාසයක්ද?
ජේතවනාරාමය ඉදිකරලා තියෙන්නේ අදින් වසර 1,700කටත් වැඩි කාලයකට කලින්.
ක්‍රිස්තු වර්ෂ 301 පමණ වන විට ඉදිකිරීම් අවසන් කර තිබූ බව සැලකෙන මෙම දැවැන්ත ස්තූපය, එදා ලෝකයේ තිබූ තුන්වන විශාලතම මිනිස් නිර්මාණය ලෙස සැලකුණා.
ඒක පරදවලා තිබුණේ ගීසාහි මහා පිරමීඩ පමණයි.
ඒ කාලයේදී ජේතවනාරාමයේ උස මීටර් 122ක්, එනම් අඩි 400ක් පමණ වූ බව සඳහන් වෙනවා.
ඒ කියන්නේ නවීන තාක්ෂණය, දොඹකර, විශාල යන්ත්‍ර කිසිවක් නැති යුගයකදී… මේ තරම් දැවැන්ත නිර්මාණයක් මිනිසුන් කොහොම හැදුවද කියන එක අදටත් පුදුමයක්.
ගඩොල් මිලියන 93කට වැඩියි
ජේතවනාරාමය ඉදිකිරීමට භාවිත කරලා තියෙන්නේ පුළුස්සන ලද මැටි ගඩොල්.
ඇස්තමේන්තු අනුව ගඩොල් මිලියන 93.3ක් පමණ
හිතාගන්නත් අමාරු ප්‍රමාණයක්.
පුරාවිද්‍යාඥයන් කියන්නේ මේ ගඩොල් ප්‍රමාණය එකතු කළොත්, අඩි 3ක් පමණ උස බිත්තියක් ලන්ඩනයේ සිට එඩින්බරෝ දක්වා, එහෙම නැත්නම් නිව්යෝර්ක් සිට පිට්ස්බර්ග් දක්වා ඉදිකරන්න තරම් ප්‍රමාණයක් විය හැකි බවයි.
අද වන විට ස්තූපයේ උස මීටර් 71ක් පමණ. වසර ගණනාවක් පුරා සිදුවූ කඩා වැටීම්, අතහැර දැමීම් සහ ප්‍රතිසංස්කරණ නිසා එහි මුල් උසෙන් විශාල කොටසක් අහිමි වෙලා තියෙනවා.
හැබැයි තවමත්…
ජේතවනාරාමය ලෝකයේ පරිමාව අනුව විශාලතම ගඩොල් නිර්මාණය ලෙස සැලකෙනවා.
මේ තරම් ගඩොල් එදා කොහොම ගෙනිච්චද?
මේක තමයි තවත් පුදුම කතාව.
ජේතවනාරාමය ඉදිකිරීමේදී මේ දැවැන්ත ගඩොල් ප්‍රමාණය නිෂ්පාදනය කිරීම, ප්‍රවාහනය කිරීම සහ නිවැරදිව තැබීම සඳහා අතිවිශාල සංවිධානයක් සහ ශ්‍රමයක් අවශ්‍ය වෙන්න ඇති.
ඒ කාලයේ ශ්‍රී ලංකාවේ දැවැන්ත ඉදිකිරීම්වලදී අලි සහ ගොන් කරත්ත භාවිත කළ බවට ඉතිහාසඥයන් විශ්වාස කරනවා.
අලි මගින් ගඩොල් ප්‍රවාහනය කරන්නත්, පදනමේ පස් තද කරන්නත් භාවිත කළා විය හැකි බව සඳහන් වෙනවා.
ඒ වගේම ඉදිකිරීම් සඳහා උණ බම්බු, පොල් කෙඳිවලින් සෑදූ ලණු සහ වනාන්තර වැල් වැනි දේවල් භාවිත කරලා තිබෙන්න ඇති.
අදටත් පුරාවිද්‍යාඥයන් පුදුම කරන තාක්ෂණය
ජේතවනාරාමය හදලා තියෙන ආකාරයත් සරල දෙයක් නෙවෙයි.
දැවැන්ත අර්ධගෝලාකාර හැඩය නිසා බර පහළට නිසි ආකාරයෙන් බෙදා හැරෙන විදිහට නිර්මාණය කරලා තිබුණා.
පුරාණ වාර්තාවල සඳහන් වන විදිහට, පදනම සකස් කිරීමේදී පොළොවට ජලය යොදලා එය කොතරම් ඉක්මනින් අවශෝෂණය වෙනවාද කියලා පරීක්ෂා කර තිබෙන බවත් සඳහන් වෙනවා.
එදා මිනිසුන් භාවිත කළ මේ ක්‍රමය අද අපි හඳුන්වන soil testing වගේ ක්‍රමයකට සමාන බව පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙනවා.
අවුරුදු ගණනාවකට පස්සේ මොකද වුණේ?
කාලයත් එක්ක භූමිකම්පා, මෝසම් වැසි සහ දීර්ඝ කාලයක් අතහැර දැමීම නිසා ස්තූපයේ කොටස් කඩා වැටුණා.
12වන සියවසේදී පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේදී විශාල ප්රතිසංස්කරණයක් සිදු කර තිබෙන බව සඳහන් වෙනවා.
පසුව සිදු කළ ඇතැම් ප්‍රතිසංස්කරණවලදී සිමෙන්ති භාවිත කිරීම නිසා, ආරක්ෂා කිරීමට උත්සාහ කළ කොටස්වලට තවත් හානි සිදුවී ඇති බවට පුරාවිද්‍යාඥයන් පෙන්වා දී තිබෙනවා.
ඒත් තවමත් මේ දැවැන්ත ස්තූපය අනුරාධපුරයේ ඉතිහාසය කියාපාමින් සිටිනවා.
ඇතුළේ තිබුණු තවත් පුදුම දෙයක්…
පුරාවිද්‍යා කැණීම්වලදී ස්තූපයේ විවිධ මට්ටම්වල තැන්පත් කර තිබූ ධාතු කරඬු සහ පූජනීය වස්තු හමුවෙලා තියෙනවා.
ඒ අතරින් විශේෂ අවධානයක් දිනාගත්තේ බෝධිසත්ව රූප සහිත රන් පුවරු.
ඒවායේ මහායාන බුදු දහමේ වැදගත් ග්රන්ථයක් වන Prajñāpāramitā Sutra හි කොටස් සංස්කෘත භාෂාවෙන් පැරණි දේශීය අක්ෂර භාවිතයෙන් සටහන් කර තිබුණා.
අද ඒ රන් පුවරු කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.
මේ සොයාගැනීම් නිසා පුරාණ ශ්‍රී ලංකාවේ බෞද්ධ ලෝකය කොතරම් විවිධ හා ජාත්‍යන්තර සම්බන්ධතා සහිත එකක්ද කියන එක ගැනත් වැදගත් තොරතුරු හෙළි වෙනවා.
ජේතවනාරාමයේ මුදුනේ දියමන්තියක් තිබුණාද?
තවත් රසවත් කතාවක් තියෙනවා.
ඓතිහාසික වාර්තාවලට අනුව, ජේතවනාරාමයේ මුදුනේ දියමන්තියක් වැනි වටිනා ගලක් තබා තිබූ බව කියැවෙනවා.
එය මෝසම් කාලයේ අකුණු වලින් ආරක්ෂාව ලබාදීමට භාවිත කළා විය හැකි බවට මතයක් තිබෙනවා.
ඒ වගේම ස්තූපයේ මුදුනේ ඇති ව්‍යුහය සාමාන්‍ය ස්තූපයකට වඩා කුලුනක් වගේ පෙනෙන නිසා, එය ඉන්දියානු සාගරයේ වෙළඳ මාර්ග හරහා පැමිණි රෝම හෝ මධ්‍යධරණී තාක්ෂණික බලපෑම්වලට සම්බන්ධ විය හැකි බවටත් ඇතැම් විද්වතුන් අදහස් පළ කරනවා.
හැබැයි ලොකුම පුදුමය මේකයි…
ජේතවනාරාමය තරම් දැවැන්ත ස්තූපයක් නැවත කිසිදාක ඉදිකරලා නැහැ
එය ඉදිකරලා අවසන් වූ පසු වසර 700කට ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ඒ තරම් දැවැන්ත ස්තූපයක් නැවත ඉදිකිරීමට උත්සාහ කරලා නැහැ.
අද අනුරාධපුරයේ රුවන්වැලිසෑය ආගමික වශයෙන් වැඩි ප්‍රසිද්ධියක් ලබා තිබුණත්, එහි මුල් ස්වරූපයෙන් ජේතවනාරාමය ඊට වඩා දැවැන්ත නිර්මාණයක්.
ඒ නිසා අද අනුරාධපුරයට ගිහින් ජේතවනාරාමය දිහා බලනකොට…
අපි දකින්නේ ගඩොල් ගොඩක් විතරක් නෙවෙයි.
ගඩොල් මිලියන 93ක් පමණ…
දහස් ගණනක මිනිස් ශ්‍රමයක්…
පුරාණ ඉංජිනේරු දැනුමක්…
වසර 1,700කට වැඩි ආගමික උරුමයක්…
එකම දැවැන්ත නිර්මාණයකට එකතු වෙලා තියෙනවා.
ලෝකයේ වෙනත් දැවැන්ත පුරාණ නිර්මාණ ගැන අපි හැමදාම කතා කළත්, ශ්‍රී ලංකාවේ මේ දැවැන්ත ඉදිකිරීම ගැන ලෝකය තවමත් දන්නේ කොච්චර අඩුවෙන්ද?
ජේතවනාරාමය — අවුරුදු 1,700කට පසුවත් අපේ ඉතිහාසය ගැන කතා කරන දැවැන්ත සාක්ෂියක්.
( මුලාශ්‍ර – CNN සේවයෙන්.. )


