
ලෝක ඉතිහාසයේ කිසිදා අමතක නොවන, මුළු ලොවකගේම ආදරය සහ ගෞරවය දිනාගත් රාජකීය චරිතයක් තමයි බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය කියන්නේ.
සමාජ සේවා කටයුතු වෙනුවෙන් කැපවුණු නිහතමානී කුමරියක ලෙස වගේම, 1980 සහ 1990 දශකවල ලෝක විලාසිතා ක්ෂේත්රය උඩුයටිකුරු කළ විලාසිතා නිරූපිකාවක් විදිහටත් ඇය ඉතිහාසයට එක් වෙලා තියෙනවා.
අදටත් ලෝකයේ බොහෝ කාන්තාවන් අනුගමනය කරන ඩයනා කුමරියගේ ඒ සුවිශේෂී විලාසිතා රටාවන් පිටුපස තිබුණු ආකර්ෂණීයම කරුණු කිහිපයක් ගැනයි මේ.
ඩයනා කුමරියගේ මංගල ඇඳුම කියන්නේ ලෝක විලාසිතා ඉතිහාසයේ අමරණීය සලකුණක්. 1980 දශකයේ තිබුණු අතිශය උත්කර්ෂවත් විලාසිතා රටාව මනාව නිරූපණය කළ මේ ඇඳුම නිර්මාණය වෙලා තිබුණේ දිගු පසුපස කොටසක්, විශාල පෆ් අත් (Puff sleeves) සහ ඉතා සියුම් එම්බ්‍රොයිඩරි නිමාවකින්. ඒ වගේම මීටර් 10කට ආසන්න දිගකින් යුත් වේලය (Veil) නිසා මේ මංගල ඇඳුම මුළු ලෝකයේම අවධානය දිනාගත්තා. එදා මෙදාතුර ලොව පුරා මනාලියන් විශාල පිරිසක් ඇගේ මේ මංගල විලාසිතාව අනුකරණය කරලා තියෙනවා.
විවිධ ආභරණ වගේම හිස්වැසුම් පැළඳීමටත් ඩයනා කුමරිය විශේෂ කැමැත්තක් දැක්වූවා. පිහාටු, දැල් රෙදි සහ විවිධ අලංකාර නිමාවන් එකතු කරලා හදපු සුවිශේෂී හිස්වැසුම් ඇගේ සෑම රාජකීය ගමනකටම වගේ වෙනස්ම අලංකාරයක් වගේම තේජාන්විත බවක් එකතු කළා.
තද නිල් පැහැයට, විශේෂයෙන්ම රෝයල් බ්ලූ සහ ක්ලයින් බ්ලූ වැනි වර්ණවලට ඩයනා කුමරිය දැක්වූයේ පුදුමාකාර කැමැත්තක්. ඇගේ නිල් පැහැති දෑස්වලට වගේම රාජකීය පෞරුෂයට මේ වර්ණවලින් ලැබුණේ අපූරු ආකර්ෂණයක්.
1980 සහ 1990 දශකවල විලාසිතා ලෝකයේ නව ප්රවණතා බිහි කරමින්, කාලයත් එක්ක කිසිදා පරණ නොවන අලංකාරයක් ලෝකයට තිළිණ කළ ඩයනා කුමරියගේ මේ සුවිශේෂී විලාසිතා අදටත් ලෝකය පුරා විලාසිතා ලෝලීන්ගේ නොමඳ ආකර්ෂණයට ලක් වෙනවා.



