දේශීය පුවත්

නලීන්ගේ වැරැද්ද නලින්ද හදයි. වැරැද්දක් වුනා වෙලා තියෙනවා නම් මේ දත්ත පිලිගන්න

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඩොලර් බිලියන 5.99ක නිල සංචිත වත්කම් ප්‍රමාණයක් පැවැතියේ යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ඊයේ (අප්‍රේල් 8) පැවසීය.

ජාතික ජන බලවේගය බලයට පැමිණෙද්දී මහා භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් වත් නොපැවති බවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ කළ ප්‍රකාශය ගැන මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කීය.

තම ආණ්ඩුව බලයට පැමිණෙද්දී මහා භාණ්ඩාගාරය සතුව ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් වත් නොතිබුණු නමුත් ගත වූ මාස හතර තුළ සංචිත ඩොලර් මිලියන 6190ක් දක්වා ඉහළ නැංවීමට හැකි වී යැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පෙරේදා (අප්‍රේල් 7) ගාල්ලේ පැවැති මැතිවරණ රැළියකදී ප්‍රකාශයක් කළේ ය.

මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, 2024 සැප්තැම්බර් මාසයේදී ඩොලර් බිලියන 5.99ක්, ඔක්තෝබර් මාසයේදී ඩොලර් බිලියන 6.47ක්, නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 6.45ක් හා දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 6.12ක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව නිල සංචිත පැවති බව ය.

එසේ ම, 2025 ජනවාරියේ ඩොලර් බිලියන 6.06ක්, පෙබරවාරි මාසයේ 6.08ක් හා මාර්තු මාසයේ 6.51ක් සංචිත පැවැති බව මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛනවල සඳහන් යැයිද ඔහු කීය.

සංඛ්‍යා සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබේ නම් තමා ඉදිරිපත් කළ මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛන පිළිගන්නා හැටියට ද අමාත්‍ය නලින්ද ජයතිස්ස ඉල්ලීමක් කළේ ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!