දේශීය පුවත්

අහස් කුස මැද තනිවූ වීරයා….

කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ එදින උදෑසන වෙනදාටත් වඩා කාර්යබහුල විය. ශ්රීලංකන් ගුවන් සේවයට අයත් දැවැන්ත Airbus A330 වර්ගයේ UL 555 ගුවන් යානය, මගීන් 280 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 12 දෙනෙකු රැගෙන ලන්ඩන් නුවර බලා පියාසර කිරීමට සූදානම්ව සිටියේය.
මෙම ගුවන් යානයේ ප්රධාන නියමුවා වන්නේ වසර 20කට අධික අත්දැකීම් ඇති, ඕනෑම අර්බුදකදී සන්සුන්ව තීරණ ගන්නා දක්ෂ නියමුවකු ලෙස කපිතාන් අසෝක පෙරේරා ය. ඔහුගේ සහාය නියමුවා වූයේ තරුණ නිලධාරී නුවන් ය.
උදෑසන 10.30ට, ගුවන් පාලක මැදිරියේ අවසරය ලැබීමත් සමඟ, එන්ජින්වල බලය වැඩි කළ කපිතාන් අසෝක, පැය 11ක දිගු ගමනක් සඳහා ටොන් ගණනක් Jet A-1 ඉන්ධන පිරී තිබූ යානය ධාවන පථය දිගේ වේගයෙන් ධාවනය කළේය. ගිගුරුම් හඬක් සමඟ යානය නිල් අහස දෙසට ඉහළට එසවුණි.
ගුවන් ගත වී විනාඩි 20ක් ගත වූ විට, යානය අඩි 20,000ක් පමණ උසක ස්ථාවර ගුවන් මට්ටමකට ළඟා විය. මගීන් ආසන පටි ලිහිල් කරමින් සාමාන්ය තත්ත්වයට පත්ව සිටියහ.
එහෙත් ඒ සාමාන්යතාවය තත්පර කිහිපයකින්ම බිඳ වැටුණි.
කොක්පිට් තුළ හදිසියේම Master Warning Alarm හඬ නාද විය. උපකරණ පුවරුව රතු විදුලි ආලෝකයෙන් දිලිසුණි.
“කපිතාන්! හයිඩ්රොලික් පද්ධතියේ පීඩනය ඉක්මනින් පහත වැටෙනවා!”
නුවන්ගේ හඬ තුළ පැහැදිලි කලබලයක් තිබුණි.
ක්ෂණයකින් තත්ත්වය අවබෝධ කරගත් කපිතාන් අසෝක දැනගත්තේ, ගොඩබෑමේ රෝද, තිරිංග සහ ප්රධාන පාලන පද්ධති ක්රියාත්මක කිරීමට අත්යවශ්ය හයිඩ්රොලික් ද්රවය කාන්දු වෙමින් තිබෙන බවයි.
“මේ තත්ත්වය යටතේ අපට ලන්ඩන් යන්න බැහැ. අපි වහාම කටුනායකට ආපසු යා යුතුයි,”
ඔහු තීරණාත්මකව පැවසීය.
නමුත් ඊළඟ අභියෝගය එයටත් වඩා භයානක විය. යානය සම්පූර්ණ ඉන්ධන තොගය සමඟ ඉතා බර තත්ත්වයක පැවති අතර, එය Maximum Landing Weight සීමාවට වඩා බොහෝ වැඩි විය.
“කපිතාන්… මේ බරින් ගොඩබැස්සොත්, Landing Gear කඩා වැටෙන්න පුළුවන්. ඉන්ධනත් එක්ක අනතුරක් වුණොත්…,”
නුවන්ගේ වචන අහස් කුස තුළම නතර විය.
කපිතාන් මොහොතකට දෑස් පියා ගත්තේය. මගීන් 292 දෙනෙකුගේ ජීවිත ඔහුගේ දෑත් මත තිබුණි. අවදානම ගෙන වහාම ගොඩබෑමද, නැතහොත් අහසේ රැඳී ඉන්ධන දහනය කර බර අඩු කිරීමද — තීරණය කළ යුතුව තිබුණි.
ඔහු නිර්භීත තීරණය ගත්තේය.
“අපි ඉන්ධන දහනය කරනවා. ATC අමතන්න.”
“Mayday, Mayday! This is UL 555. We have a hydraulic emergency. Aircraft is overweight. Request holding pattern for fuel burn.”
ගුවන් පාලක මැදිරිය වහාම ක්රියාත්මක වී, මීගමුව මුහුදු තීරයට ඉහළ අහස ඔවුන්ට වෙන් කළේය.
ඉන්පසු ආරම්භ වුණේ ජීවිතය හා මරණය අතර පැය කිහිපයක සටනකි. යානය මුහුදට ඉහළින් විශාල වෘත්තයක කැරකෙමින් ඉන්ධන දහනය කළේය.
එම අතරතුර, කපිතාන් අසෝක සන්සුන් හඬින් මගීන් ඇමතීය.
“ආදරණීය මගීන්, කුඩා තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අපට කටුනායකට ආපසු ගොඩබෑමට සිදුවී ඇත. ආරක්ෂාව සඳහා අපි අමතර ඉන්ධන දහනය කරමින් අහසේ රැඳී සිටිමු. කිසිදු බියක් ඇති කර නොගන්න. ඔබ සැම ආරක්ෂිතව ගොඩබෑම අපගේ ප්රමුඛත්වයයි.”
ඔහුගේ විශ්වාසවන්ත හඬ මගීන්ගේ බිය සමනය කළේය.
පැය හතරකට ආසන්න කාලයකින් පසු, ඉන්ධන මට්ටම ආරක්ෂිත සීමාවට ළඟා විය.
“හරි නුවන්, Emergency Checklist. අපි ගොඩබසිමු.”
කටුනායක ධාවන පථය දෙපස ගිනි නිවන රථ, ගිලන් රථ සහ ආරක්ෂක අංශ සීරුවෙන් සූදානම්ව සිටියහ.
හයිඩ්රොලික් දෝෂය මැදින්ම, අසෝක සාර්ථකව Landing Gear ක්රියාත්මක කළේය.
“දඩස්!”
දැවැන්ත යානය ධාවන පථය ස්පර්ශ කළේය.
තිරිංග පද්ධතිය අඩාල වුවද, වසර ගණනාවක අත්දැකීම් යොදාගෙන, යානය පාලනය කරමින්, ධාවන පථයේ අවසානයට ළඟා වන මොහොතේදී, දුම් වළාකුළු අතරින් යානය නතර විය.
තත්පර කිහිපයක නිහඬතාවයකින් පසු, ගුවන් යානය තුළින් අත්පොළසන් සහ සතුටු කෑගැසීම් නැගුණි.
කපිතාන් හා සහය නියමූවා , තම ජීවිතය පවා නොතකා, අහස් කුස මැද පැය ගණනාවක් වගකීම රැකගනිමින්, මහා ව්යසනයක් වළක්වා ගත්තේය.
ඔහුගේ ඉවසීම, බුද්ධිය සහ අසීමිත ධෛර්යය —
සැබෑ වීරත්වයේ ජීවමාන සංකේතයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!