Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

” කන්ද උඩ මිනිස්සුන්ගේ ජීවිත එහෙමයි ” කන්ද උඩ මිනිස්සුන්ගේ ජීවිත ගැන වෛද්‍යවරයෙක් පැවසූ සංවේදී සටහන මෙන්න

කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පුද්ගලයින් 22 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ අනතුර අදාළ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් සිදුවූවක් නොවන බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව බස් රථයේ ප්‍රමාණය ඉක්මවූ පිරිසක් ගමන් කිරීම, අධික වෙහෙස හේතුවෙන් රියදුරුට නින්ද යාම අනතුරට හේතුවන්නට ඇති බවට සැකපළ කෙරෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බන්ඩාර මහතා සඳහන් කළා.

මෙම අනතුර සම්බන්ධයෙන් වෛද්‍ය ලක්මාල් කුලසේකර සිය මුහුණුපොතට සටහනක් එකතු කර තිබුණේ මෙලෙසයි.

කන්ද උඩ මිනිස්සු කන්ද පාමුල…

ලංකාවෙ කඳුකර ප්‍රදේශවල ජීවත්වන මිනිස්සුන්ගෙ ජීවිත වෙනස්. මේ බොහෝ පැතිවල කන්ද උඩට යන පාරවල්වල අයිනෙ පුංචි දේවාල හදල තියෙනව. එක එක දේව රූප. ඒ දේවරූප කියා පාන්නෙ කඳුකර මිනිස්සුන්ගෙ ජීවිතවල අවිනිශ්චිතතාව. සරලවම කීවොත් ගෙදරින් එලියට බැහැලා ආයෙ එනතුරු ජිවිතේ ගැන විශ්වාසයක් නෑ….

මාත් කන්ද උඩ බදුල්ලෙ මිනිහෙක්…

අනූඑකේ ශිෂ්‍යත්වෙ පාස්වෙලා අප්පච්චි එක්ක කොළඹ ආපු ගමන් මට මතකයි. HPL ට්‍රැවල්ස් බස් එකේ බ්ලූ මවුන්ටන් බස්එකේ රතුපාට CTB බස් එකේ කොළඹ ආපු හැටි මතකයි. කන්ද උඩ මිනිස්සු ගමන් යන්නෙ රෑට. පැය අටක් නවයක් ඒ කාලෙ බස් ගමන. පාර පටුයි. දුෂ්කරයි. ගමන භයානකයි. රෑට මීදුම. අපි බස් එකට නැගලා නිදා ගන්නවා. රියදුරු මහත්තයා බස් එක ඇරන් එනවා. අනතුරක් නොවී එහෙම කොළඹ එක්කන් ආපු රියදුරු මහත්තුරුන්ට පින්. නිමල් සිරිපාල ඇමතිතුමාගෙ කාලෙ පස්සෙ පාර ලොකු කරල හැදුව. හොඳ බස් වැටුණ. සුපර් ලයින් බස් ආව. පැය හයෙන් බදුල්ලට යන්න පුලුවන් වුණා. ඒ මොනව වුණත් ජීවිත ටික තියෙන්නෙ රියදුරු මහත්තයා අතේ. බස් එක අතේ….

බදුල්ල ඉස්පිරිතාලෙ වැඩට යනකොට මුල්ටිකේ ගියේ බස් එකේ…රෑට කොලඹින් නැගල උදේ පාන්දර බදුල්ලෙන් බහිනකොට මං රියදුරු මහත්තයාට ස්තුතියි කියන්න පුරුදුවෙලා හිටිය. පුංචි කාලෙ නොතේරුණාට ඒ වෙනකොට මේ රියදුරු මහත්තුරු මොන තරම් වගකීමක් දරනවද කියල ම⁣ට තේරිලා තිබුණ. අ⁣පේ ජීවිත රියදුරු මහත්තයාට බාර දීල අපි නිදාගන්නව. වරදින්න ඕන එක තත්පරයයි…

ඊයෙ එහෙම වැරදුණා…මොකක් හරි හේතුවකට බස් එක පාරෙන් පැන්න. ගහක්වත් තිබිල නෑ…ප්‍රපාතෙටම ගිහින් කන්ද උඩ මිනිස්සුන්ගෙ ජීවිත විසිඑකක් චප්පවෙලා තැලිල පොඩිවෙලා ගියා…තව කීයක් අබ්බගාත වුණාද දන්නෙ නෑ…නිවාඩුවකට ඇවිත් හිටියත් පපුව පුරා මහ මූසලකමක් තිබුණෙ…

මේ ලියන්නෙත් පපුව පුරා පිරිච්ච මූසල හැඟීමෙන්…

මේ පින්තූරෙ ඉන්න මනුස්සයා බස්එකේ මිනිස්සු බේරන්න ගිය කෙනෙක්…ඔක්කොම එලියට ගන්න පැය පහක් හයක් ගියාලු. ඉවර වෙලා ගෙදර ගිහින් බිම වාඩි වෙලා ඇඬුවලු…

ආදරණීය මිත්‍රවරුනි,

කන්ද උඩ මිනිස්සු එහෙමයි….

කොයි වලේ නාය යයිද කියල දන්නෙ නැති තැන්වල පුංචි ගෙවල් හදාගෙන ඉන්න කන්ද උඩ මිනිසුන්ගෙ හැටි එහෙමයි…

අනේ උන්ට මෙහෙම කරදර වෙන්න එපා…

සමහරු ඊයෙ අනතුරෙන් පස්සෙ ලොරි චැසි තියපු බස්වලටයි, රියදුරු මහත්තුරුන්ටයි, රෑට ගමන් යන මිනිස්සුන්ටයි බැනල තිබුණ…

උඹල කන්ද උඩ මිනිසුන්ගෙ ජීවිත ගැන දන්නෙ නෑ…

උන්ගෙ ජීවිත රකින්නෙ අර පුංචි දේවරූප…

ඊයෙ දෙවියන්ටත් මිස් වුණා…

ඒ මිස් වුණත් වැටිච්ච බස්එක වටේ කන්ද පාමුල පිරුණෙත් දෙවියන්ම තමයි…

උඹලාට තෙරුවන් සරණයි…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!