
මේක ගංවතුර බැස යන මේ මොහොතේ සෑම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම හදවතින්ම කියවිය යුතු ලිපියක්,
ගංවතුර බැහැලා ගිහින්. හැමතැනම මඩ. අම්මයි තාත්තයි දවස් ගාණක් තිස්සේ නොකා නොබී ගේ අස් කරනවා. ගෑස් ටැංකිය ගහගෙන ගිහින්. දර ටික ඔක්කොම තෙමිලා. බොන්න වතුර හොයාගන්නෙත් හරිම අමාරුවෙන්.
මේ වෙලාවේ, අවුරුදු 3ක පුංචි දුව අම්මා ළඟට එනවා. දරුවාට දාඩිය දාලා, මූණ රතු වෙලා. “අම්මේ… මට තිබහයි… වතුර…”
අම්මා වටපිට බලනවා. තිබුණ වතුර බෝතල් ඉවරයි. ටැප් එකෙන් වතුර එනවා. හැබැයි ඒක උණු කරලා නිවාගන්න විදිහක් නෑ. ලිප පත්තු කරන්න දර නෑ. අනික දරුවා දැන් කෑ ගහලා ඉල්ලනවා. “මේ වතුර ටික වීදුරුවට ගත්තම පිරිසිදු පාටයිනේ… අනික ටැප් ලයින් එකේනේ එන්නේ…”
අම්මා හිත හදාගත්තා. “කමක් නෑ, දැන් බොන්නකෝ… පස්සේ උණු කරලා දෙන්නම්.” අම්මා ඒ වතුර වීදුරුව දරුවාගේ කටට තිබ්බා.
දරුවා හරිම ආසාවෙන්, එක හුස්මට ඒ වතුර වීදුරුවම බිව්වා. “ඇති අම්මේ…”
අම්මා හිතුවේ එතනින් ප්‍රශ්නේ ඉවරයි කියලා. ඒත් අම්මා දැනගෙන හිටියේ නෑ, තමන් ඒ වතුර වීදුරුවත් එක්ක දරුවාගේ ඇඟ ඇතුළට යැව්වේ “මාරයෙක්ව” බව.
මධ්‍යම රාත්‍රියේ ඛේදවාචකය
රෑ 12 විතර ඇති. දරුවා එකපාරටම ඇඳේම වමනය කරන්න පටන් ගත්තා. “අම්මේ… බඩ රිදෙනවා…” ඊට පස්සේ නවත්තන්න බැරුව බඩ එළිය යන්න (Diarrhea) පටන් ගත්තා. වතුර වගේ.
පාන්දර වෙනකොට දරුවා කෙළින් කරන්න බෑ. අර මල් වගේ තිබුණ මූණ මැලි වෙලා. ඇස් වළ ගැහිලා. දරුවා හුස්ම ගන්නෙත් අමාරුවෙන්. අම්මයි තාත්තයි පිස්සුවෙන් වගේ දරුවා උස්සගෙන ඉස්පිරිතාලෙට දිව්වා.
දොස්තර මහත්තයා දරුවා දිහා බලලා අම්මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ මේකයි. “අම්මේ… දරුවට බොන්න දුන්නේ උණු කරපු වතුරමද?”
අම්මා බිම බලාගත්තා. ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණා. “අනේ ඩොක්ටර්… මට වෙලාවක් තිබුණේ නෑ… දරුවා ඉල්ලපු නිසා…”
ඇයි ඒ “පිරිසිදු පාට” වතුර වීදුරුව විස වුණේ?
මේ දවස්වල අපේ රටේ ගොඩක් පැතිවලට වෙලා තියෙන්නේ මේකයි. ගංවතුර කියන්නේ නිකන්ම වැහි වතුර නෙවෙයි.
ගමේම තිබුණු වැසිකිළි උතුරලා ගියා.
ඒ අසූචි (Sewage), ගංවතුරත් එක්ක මිශ්‍ර වෙලා, අපේ ලිංවලට, කැඩුණු වතුර බට ඇතුළට රිංගුවා.
ඔබට ඇහැට පේන්නේ වතුර විතරයි. ඒත් අන්වීක්ෂයකින් බැලුවොත්, ඒ වතුර වීදුරුවේ කොළරාව (Cholera), සැල්මොනෙල්ලා, ඊ-කෝලයි (E. coli) වගේ මාරාන්තික බැක්ටීරියා කෝටි ගාණක් පීන පීන ඉන්නවා.
පුංචි දරුවෙක්ගේ බඩවැල් හරිම මෘදුයි. මේ බැක්ටීරියාව ඇතුළට ගිය ගමන්, බඩවැල් ආක්‍රමණය කරනවා. පැය කිහිපයක් ඇතුළත දරුවාගේ ඇඟේ තියෙන වතුර ඔක්කොම “පාචනය” විදිහට එළියට දානවා.
දරුවාට මාරාන්තික වෙන්නේ පාචනය නිසා නෙමේ . විජලනයෙන් නිසා (Dehydration).
අම්මේ, තාත්තේ…
අපි දන්නවා, මේ වෙලාවේ ජීවත් වෙන්න හරි අමාරුයි. ගෑස් නෑ, දර නෑ. ඒත්… දරුවාගේ ජීවිතේ ඊට වඩා වටිනවා.
විනාඩි 20ක ඉවසීම: කොච්චර බඩගිනි වුණත්, තිබහ වුණත්, දරුවට දෙන වතුර ටික හොඳටම නටවලා (Rolling boil) මිසක් දෙන්න එපා.
පාටට රැවටෙන්න එපා: වතුර වීදුරුව “ක්‍රිස්ටල්” වගේ පිරිසිදු පාටට පෙනුනත්, ඒක ඇතුළේ බැක්ටීරියා ඉන්න පුළුවන්. පෙරුවට බැක්ටීරියා යන්නේ නෑ. නටවන්නම ඕනේ.
බැරිම නම්: නටවගන්න විදිහක් ඇත්තටම නැත්නම්, PHI මහත්තයාගෙන් “ක්ලෝරීන් පෙති” ඉල්ලගන්න. නැත්නම් බෝතල් කළ වතුරක් (Sealed bottle) ණයක් වෙලා හරි කඩෙන් අරන් දෙන්න.
ඒ පසුතැවීමක් ඉතිරි කරගන්න එපා. වතුර ටික නටවලාම බොමු. පාචන මාරයා පරද්දමු
ස්තුති
හෙදියකගේ දිනපොත



