
2025 වසරේදී ශ්‍රී ලංකාව විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11.6ක් උපයා ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඔහු මේ බව පැවසුවේ, අද (ජන. 5) විදේශ අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
පසුගිය වසරේ සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 3.2ක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
ඉතිහාසයේ වැඩි ම සංචාරක සංචාරකයින් පිරිසක් පැමිණියේ පසුගිය වසරේ බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම සංඛ්‍යාව 2,362,000ක් වූ බව සඳහන් කළේ ය.
එසේ ම, පසුගිය වසරේ විදේශීය ප්‍රේෂණ වාර්තාගත අගයක් බව ත් එම මුදල අමෙරිකානු ඩොලර් බිලියන 7.8ක් බව ත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
තව ද, කොන්සියුලර් සේවාවන් සැපයීම මගින් ලද ආදායම ඩොලර් මිලියන 576.9ක් බව ඔහු තවදුරට ත් පැවසීය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සංචාරක කර්මාන්තය යම් අවිනිශ්චිත තත්ත්වයක පැවතිය ද සංචාරක අමාත්‍යංශය සෙසු ආයතන සමග එක්ව සිදු කළ විශේෂ මෙහෙයුම හේතුවෙන් නැවත මෙරටට සංචාරකයන් පැමිණෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වනවිට සියයට 15ක සංචාරක වර්ධනයක් ඇති බව ද සඳහන් කළේ ය.
එසේ ම, මෙම සුළිකුණාටුව සමග විශාල රටවල් ප්‍රමාණයකින් ශ්‍රී ලංකාවට මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබා දුන් බව ත් සඳහන් කළ අමාත්‍යවරයා වැඩිම මූල්‍ය ප්‍රදානයක් සිදු කළේ මාලදිවයිනෙන් බව ත් එම මුදල රුපියල් ලක්ෂ 725ක් බව ත් පැවසීය.
එමෙන් ම, ජපානයෙන් රුපියල් ලක්ෂ 596ක් ද ඉන්දියාවේ චෙන්නායි නගරයෙන් රුපියල් ලක්ෂ 440ක් ද ලැබූ බව හෙතෙම කීය.
මේ වනවිට රුපියල් බිලියන 85කට ආසන්න මුදලක් මෙරටට ලැබී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.



