තරු ගොසිප්

රටක් ආදරේ කරන ඇයට දැන් 98ක්..! මීදෙණිය වලව්වේ ආදරණීය සුදු ආච්චිට සුබ උපන්දිනයක්..!

අද දිනට යෙදෙන මීදෙණිය වලව්වේ සුදු ආච්චි නමින් අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයිරාංගනී සේරසිංහ නම් රංගවේදිනියගේ උපන්දිනය වෙනුවෙන් ඇය පිළිබඳ කෙටි සටහනක් සමඟ ඡායාරූප කීපයක්.

රුවන්වැල්ලේ මීදෙණිය වලව්වේදී 1927 ජුනි 09 වැනිදා උපත ලැබූ අයිරාංගනී මීදෙණිය වයස අවුරුදු විස්ස සපුරන විට කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එහි ඉංගී‍්‍රසි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක් බවට ද පත්වූණා.

ඇන්ටිගනීගේ චරිතයට පණ පොවමින් ඉංගී‍්‍රසි වේදිකාව ජයගත් ඇය “අපට පුතේ මඟක් නැතේ” වේදිකා නාට්‍යයෙන් සිංහල වේදිකාවට ද ගොඩවුණා.

එංගලන්තයේ බ්‍රිස්ටල් ඕල්ඩ්වික් තියෙටර් හා රෝයල් ඇකඩමි ඔෆ් ඩ්‍රැමටික් ආර්ට් වැනි ආයතනවලින් රංගනය පිළිබඳ හැදැරූ ඇය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ වාර්තා චිත්‍රපටයකින් පසු රේඛාව චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වුණා.

එහි රංගනය වෙනුවෙන් 1956 දීපශිඛා සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබූ ඇය සන්දේශය, දෙලොවක් අතර, රන්සළු, බක්මහ දීගේ, සාගරයක් මැද, දඩයම, දෙවැනි ගමන, පවන රළු විය, ලොකු දුව, කිණිහිරියා මල්, සුදු සෙවණැලි, ආදර කතාවක් ආදී චිත්‍රපට රැසකට සිය රංග ප්‍රතිභාව මුසු කළා මෙන්ම හොඳම සහාය නිළිය සම්මාන රැසක් දිනා ගත්තා.

ඒ අතර (1981) සාගරයක් මැද (1981) ලොකුදුව (1996) සුදු සෙවණෑලි (2003) ආදිය සඳහා වූ සරසවිය සම්මාන කැපී පෙනෙනවා. ඔබ දුටු දා (1967), පවන රළු විය (1991) අවරගිර (1996) සඳහා ඇය සම්මානනීය වුයේ හොඳම නිළිය සඳහා වූ සරසවිය සම්මානයෙන්.

පුංචි තිරයේ සුදු ආච්චි නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ඇය දූ දරුවෝ, යශෝරාවය, ගම්පෙරළිය, නෑදැයෝ, සත්පුර වැසියෝ වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසකට සිය රංගන දායකත්වය දුන්නා.

1948 වසරේ නිදහස් දිනය වෙනුවෙන් චිත්‍රසේනයන් ඉදිරිපත් කළ පැජන්ට් ඔෆ් ලංකා සංස්කෘතික සන්දර්ශනයේ රාමා රාවණා හා සීතා මුද්‍රා නාට්‍යයේ සීතා ලෙස නර්තනයේ යෙදුණේ ඇයයි. පරිසරලෝලියකු මෙන්ම ඇය මාධ්‍යවේදිනියක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!