
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානය ඉලක්ක කර ගනිමින් අද (01) එල්ල කළ දරුණු ප්‍රහාර මාලාවත් සමඟ මුළු ලෝක වෙළඳපොළම දැඩි කැළඹීමකට පත්ව තිබෙනවා. යුදමය වාතාවරණය උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල එකවරම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අද උදෑසන වන විට බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල 10% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 80 සීමාව දක්වා පැමිණ තිබෙනවා. මෙය මෑත කාලීනව බොරතෙල් මිලෙහි සිදුවූ විශාලතම පිම්මක් ලෙසයි සැලකෙන්නේ. ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ පවතින යුදමය තත්ත්වය තවදුරටත් දරුණු වුවහොත්, ඉදිරි දින කිහිපය තුළ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා යනු ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් පවතින අතර, එය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවටයි මේ වන විට අනාවැකි පළ වෙන්නේ.



