බජව් සංගීත නිර්මාණය කරපු කවුද මේ බයිලා සැන්ටි ?

බජව් සංගීත නිර්මාණය කරපු කවුද මේ බයිලා සැන්ටි ?

“උඩබත්ගම විතානගේ පියරත්න”.මේ නම කලින් අහලා තිබේද ?

බොහෝ දෙනෙකු මේ නම කලින් අසා නැතුව ඇති.එහෙමනම් “බයිලා සැන්ටි” කියන නම අසා තිබේද?ඔව් මේ නම බොහෝ දෙනෙකු අසා ඇති.එතුමන් ගැනයි අද මේ කෙටි සටහන.

සමහරවිට ඔබ ඔහුව දන්නේ ගායකයෙක් නිසා වෙන්න ඇති.ඔහු විසින් ගැයූ ජනප්‍රිය ගීත අතරේ සෝමේ ඩෝලෙ ගහනවා,ලංකර ගත්තම මම පුරුදු ගිටාරේ,ඔන්න ඉතින් පටන් ගත්තා බයිලා සෙල්ලම,සරිගම උතුරනවා වගේ ගීත ඉහලින්ම තියෙනවා.ඒ ගීතවල ගී පද රචනය,තනු නිර්මාණය,සංගීතය යන සියල්ලක්ම මෙතුමා විසින් නිර්මාණය කරලා තියෙනවා .ඒ වගේම මෙතුමා විසින් රචනා කරලා තනු නිර්මාණය කරලා සංගීතවත් කරලා ගායනා කරපු ගීත දෙකක් තමයි බොරුවට අඬලා කිමද හැපෙන්නෙ විමලා,අද කතා නැත්තෙ මොකද උඹ ලතා ගීත දෙක.පසුව මෙතුමාගේ මිත්‍ර ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා විසින් එම ගීත දෙක ඉල්ලලා තියෙනවා.ඉන්පසුව තමයි එම ගීත දෙක ජිප්සීස් සංගීත කණ්ඩායම වෙත ලබාදී තිබෙන්නේ.මීට අමතරව ජිප්සීස් සංගීත කණ්ඩායම වෙනුවෙන් ලුණුදෙහි,සිංඤෝරේ,අන්කල් ජොන්සන් වගේ අතිශයින් ජනප්‍රිය වුනු ගීත නිර්මාණය කිරීමට මෙතුමා සමත් වුනා.

මෙහි අන්කල් ජොන්සන් ගීතය නිර්මාණය කිරීම සඳහා හේමසිරි හල්පිට මහතාද සම්බන්ධ වී තිබෙනවා.ජිප්සීස් වෙනුවෙන් එහෙම නිර්මාණ කරනකොට නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායම වෙනුවෙන්ද නිර්මාණ රාශියක් මෙතුමන් විසින් සිදුකරලා තිබෙනවා.ඒ අතර තැඹිලි පාට තැඹිලි ගෙඩිය වාගෙ ලස්සන,හිත හොඳ කොල්ලෝ,කලු කොට සුමනාවතී,මේ ජීවිතේ ආදරේ නැතිනම්,පලමුව සිනාසෙයි දෙවනුව ලියුම් දෙයි,සිත තුල ඇති දුක් කරදර ඔක්කොම වගේ ගීත අතිශයින් ජනප්‍රිය වුනා.නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ සන්ෆ්ලවර් සංගීත කණඩායමේ යමලොව ඉපදුන,I Can Live Without You ගීත දෙක නිර්මාණය කරලා තියෙන්නෙත් මෙතුමා.රෝයි ප්‍රනාන්දු ප්‍රමුඛ ගැලැක්සීස් සංගීත කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කල පානා ඔය සිනාවේ,ලලිතා නුඹ ගැන සිතා,අනෙ මගෙ මේරි පනේ,ඊරිසියකාරයෝ වෙනවද කලාකාරයෝ,රණ මොනරි රඟ දෙනවා සේ වගේ ගීත අතිශයින් ජනප්‍රිය වුනා.මීට අමතරව බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කල සිරියලතා,මොකටද ගෑනු ලමයො වෙන්නෙ මුරන්ඩු,රසබර තාල මේවා ගලන වෙලාවේ,අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ,කියනා විටදි වචනෙ හරියට කියමු වගේ ගීත බෙහෙවින් ජනප්‍රිය වුනා.එමෙන්ම මෙතුමාගේ මිත්‍ර ඩෙස්මන්ඩ් ද සිල්වා වෙනුවෙන් නිර්මාණය කල ගලනා ගඟක් වගේ සිනහා රැල්ල නුඹේ ගීතයත් බොහෝ රසිකයින් ආදරයෙන් වැලඳගත්තා.

චාන්දනී හෙට්ටිආරච්චි ගායන ශිල්පිනිය ඇතුලු ගායන ශිල්පීන් ශිල්පිනියන් රැසක් සඳහා බොහෝ ගීත ප්‍රමාණයක් මෙතුමා විසින් නිර්මාණය කර තිබෙනවා.සංගීත කණ්ඩායම් රැසක් සඳහා ගීත නිර්මාණය කල එකම ශිල්පියා වන මෙතුමා විසින් ඉහත සඳහන් කල සංගීත කණ්ඩායම්වලට අමතරව සන්ෂයින්,මාරිම්බා,සෙනිත්,සැන්ටානා,එවර්ග්‍රීන්, සිටික්‍රීක්,නයිටිංගේල්ස්,සුපර් මේරියන්ස් වගේ සංගීත කණ්ඩායම් ඉහලින්ම තියෙනවා.එහි විශේෂත්වය වන්නේ ඉහත නම් සඳහන් කල සංගීත කණ්ඩායම් විසින් නිකුත් කල කැසට් පට බොහොමයක ගීත සියල්ලක්ම පාහේ,එනම් ගී පද රචනය,තනු නිර්මාණය ,සංගීතය යන ත්‍රිත්වයම මෙතුමා විසින් සිදුකර තිබීමයි.ලංකාවේ එහෙම නිර්මාණ ශිල්පීන් බොහොම අඩුයි

.ගී පද රචනයත්,තනු නිර්මාණයත්,සංගීතයත් යන ත්‍රිත්වයම කල සංගීත ශිල්පීන් ලෙස සුනිල් ශාන්ත,එම්.එස්.ප්‍රනාන්දු ,ක්ලැරන්ස් විජේවර්ධන ,රූකාන්ත ගුණතිලක වගේම වත්මන් පරපුරේ රොෂාන් ප්‍රනාන්දු ,චාමර රණවක ,ශිහාන් මිහිරංග වගේ සංගීත ශිල්පීන් හඳුන්වන්න පුලුවන් .සැන්ටි අයියාත් ඒ කුලකයේ ඉන්න දියමන්තියක්.මිනිස්සු මැරුනාට පස්සේ ගුණ කථන කරනවාට වඩා ජීවත්ව ඉන්න කාලයේ නිසි වටිනාකමක් ඇගයීමක් සහ ප්‍රයෝජනයක් ගැනීමයි වටින්නේ.සැන්ටි අයියා කියන්නේ මටනම් පට්ට වැඩ්ඩෙක්.ඒවුනාට කතා කරලා බැලුවාම කිසිම ලොකුකමක් නැති හරිම නිහතමානී සුහද චරිතයක්.ලංකාවේ ගොඩක් අය එහෙමයි.පොඩි පොඩි නිර්මාණ කරපු අය කාඩ්බෝඩ් වීරයෝ වගේ රඟනකොට , සැන්ටි අයියා වගේ දැවැන්ත නිර්මාණකරුවෝ පොලොවේ පයගහලා ජීවත්වෙනවා.කෙනෙකුට හිතෙන්න පුලුවන් මෙතුමා නවක පරපුර එක්ක වැඩ කරලා නෑ කියලා.නමුත් වර්තමාන පරපුරත් මෙතුමා සමග වැඩ කරලා තියෙනවා සහ වැඩ කරමින් ඉන්නවා. වර්තමානයේ බොහෝසෙයින් ජනප්‍රිය දොයි අම්මා ගීතයත් මෙතුමා එකල සිටික්‍රීක් සංගීත කණ්ඩායම වෙනුවෙන් කල නිර්මාණයක්

.එමෙන්ම ඩැඩී සංගීත කණ්ඩායම වෙනුවෙන් සතුටින් ඉන්න ගීතයත්,හොට් චොකලට් සංගීත කණ්ඩායම සඳහා තප්පරෙන් තප්පරේ ගීතයත්,ටූ ෆෝර්ටි ටූ සංගීත කණ්ඩායම සඳහා බජව්ව ගීතයත් නිර්මාණය කලේ මෙතුමා.වැදගත්ම කාරණය තමයි මට හොයාගන්න පුලුවන් වුනු නිර්මාණ ප්‍රමාණය මෙච්චරයි .මේ සටහනේ නොලියවුනු නිර්මාණ ප්‍රමාණය ලියවුනු නිර්මාණ ප්‍රමාණයට වඩා වැඩි.ඉතින් නිට්ටඹුව ප්‍රදේශයේ දිවි
ගෙවන මෙතුමාව ඔබගේ ගමේ නගරයේ ආයතනයේ නිවසේ පැවැත්වෙන ඕනෑම ආකාරයක ප්‍රසංගයක් සඳහා සම්බන්ධ කරගන්න පුලුවන් .විශේෂයෙන්ම ඉදිරි අප්‍රේල් මාසයේ මේ වගේ දක්ෂයින්ට අවස්ථාවක් ලබාදෙන්න ඕනේ.ඒ විතරක් නෙවෙයි කාටහරි ගී පද රචනා කරගන්න,තනු නිර්මාණය කරගන්න ගීත සංගීතවත් කරගන්න අවශ්‍යනම් මෙතුමාට කතා කරන්න පුලුවන් .වයස කියන්නේ ඉලක්කමක් විතරයි.

අපි කාගෙත් එංජිම පරණ වෙනවා.ඒ අතර සමහරු හදවතින් තරුණ වෙනවා.සැන්ටි අයියගේ ෆොටෝ එක දැක්කමත් මට හිතුනේ එහෙමයි.පපුවේ කුණු නැති සුන්දර චරිත එන්න එන්නම තරුණ වෙනවා.සැන්ටි අයියේ තව තවත් සුන්දර නිර්මාණ කරන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!❤️
ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා !

සැන්ටි අයියාව මේ දුරකථන අංකයෙන් සම්බන්ධ කරගන්න පුලුවන් .
Baila Santy : 0777204852

Copied

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *