
හානි වූ දුම්රිය මාර්ග පද්ධතිය ගොඩනැගීම වෙනුවෙන් තාක්ෂණික සහාය ලබා දෙන ලෙස ජනාධිපති ෂී ජින් පිං ඇතුළු චීන රජයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව පැවසුවේ, මෙරට සංචාරයක නිරත චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති WANG DONGMING ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (දෙසැ. 17) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී ය.
ඒ, ජනාධිපති කාර්යාලයේදී ය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මුහුණ දිමට සිදුවූ අභියෝග පරාජය කරමින්, ශ්‍රී ලාංකික ජන ජීවිතය යළි ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට උපරිම සහාය ලබා දෙන බවත්, ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත්වනු ඇති බව චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති WANG DONGMING ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ මෙම දරුණු ව්‍යසනය පිළිබඳ චීන රජයත්, ජනතාවත් මහත් සේ කණගාටුවට පත්වන බව ප්‍රකාශ කළ උප සභාපතිවරයා, ආපදාවට පත් සහෝදර ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සහන සැලසීමට චීන රජය පළමු අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ බව ද සඳහන් කළේ ය.
එමෙන් ම, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන ආර්ථික, සංස්කෘතික සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව ද ඔහු පැවසීය.
මෙම ආපදා අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ මෙහිදී උප සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිස වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ආපදාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ද්‍රව්‍යමය සහ මූල්‍යමය ආධාර සපයා දෙමින් චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් හෘදයාංගම සහාය කෘතවේදීව අගය කළේ ය.
ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ ආපදා තත්ත්වය සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා චීන නියෝජිත පිරිස දැනුවත් කළේ ය.
රජයේ මූලික පියවර වූයේ ආපදාවට පත් ජනතාව මුදා ගැනීම බව ත් ඉන්පසුව ඔවුන් ඉතා සුරක්ෂිත ස්ථානවලට යොමු කර ආහාර, සෞඛ්‍ය ආදීමූලික පහසුකම් සපුරා දීමට පියවර ගත් බව ත් පැවසු ජනාධිපතිවරයා මේ වන විට ඔවුන්ගේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම වෙනුවෙන් සැලැසුම්සහගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරමින් සිටින බව ත් ප්‍රකාශ කළේ ය.
චීන ජාතික මහජන කොංග්‍රසයේ පරිසර ආරක්ෂණ හා සම්පත් සංරක්ෂණ කමිටුවේ සභාපති LU XINSHE, විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ උප සභාපති සහ ජාතික මහජන කොංග්‍රසයේ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී WANG KE, සමාජ සංවර්ධන කටයුතු පිළිබඳ කමිටුවේ උප සභාපති TAN TIANXING, ස්ථාවර කමිටු මහා ලේකම් කාර්යාලයේ විදේශ කටයුතු කාර්යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් TANG JIAN, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ උපදේශක YANG YIN , විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ තුන්වන ලේකම් SHA LONG යන මහත්ම මහත්මීහු සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති QI ZHENHONG ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මෙම අවස්ථාවට සහභාගී වූහ.



