දේශීය පුවත්

ගංවතුරට හසුව පළුදුවූ මුදල් නෝට්ටු වලට කළ හැකිදේ ගැන මහ බැංකුව දන්වයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර ආපදා නිසා තෙත් වූ හෝ හානියට පත් වූ මුදල් නෝට්ටු පරිහරණය කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. මෙම මුදල් නෝට්ටු තවදුරටත් විනාශ වීම වළක්වා ගනිමින් ඒවා නිසි පරිදි පරිහරණය කිරීමට මෙම ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජලය උරා ගැනීම නිසා තෙත් වී ඇති මුදල් නෝට්ටු ඉතාමත් ප්‍රවේශමෙන් සහ මෘදු ලෙස හැසිරවීමට වගබලා ගත යුතු අතර නෝට්ටු මිටි වශයෙන් පවතින්නේ නම් ඒවා එකවර බලහත්කාරයෙන් ඉවතට ඇදීමෙන් වැළකිය යුතුය. එසේ තෙත් වූ මුදල් නෝට්ටු මිටි ලිහා තෙතමනය උරා ගන්නා අවශෝෂක ද්‍රව්‍යයකින් ඔතා කාමර උෂ්ණත්වයේ දී සෙමින් වියළීමට ඉඩ හැරිය යුතුය.

යම් හෙයකින් මුදල් නෝට්ටු එකිනෙක වෙන් කර ගැනීමට අපහසු නම් එම මුදල් මිටිය සීතල හෝ මද රස්නය සහිත පිරිසිදු ජලයේ ගිල්වා, නෝට්ටු ලිහිල් වන තුරු වරකට එක් කෙළවරකින් අල්ලා මුදල් මිටිය මෘදු ලෙස සෙලවීම මගින් නෝට්ටු වෙන් කර ගැනීමට උත්සාහ කළ හැකිය.

මෙහිදී උණු වතුර, රෙදි සෝදන කුඩු හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතු බව මහ බැංකුව අවධාරණය කරයි. මුදල් නෝට්ටු වියළා ගැනීමේදී සෑම නෝට්ටුවක්ම පිරිසිදු සහ වියළි මතුපිටක් මත අතුරා තැබිය යුතු අතර එම මතුපිට වර්ණවත් හෝ මුද්‍රිත එකක් නොවිය යුතුය. මෘදු රෙදි, කඩදාසි හෝ තුවා වැනි දෑ මේ සඳහා යොදා ගත හැකි අතර හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක ස්වභාවිකව වාතයේ වියළීමට ඉඩ හැරීම වඩාත් සුදුසුය.

 

මුදල් නෝට්ටු ඉක්මනින් වියළා ගැනීම සඳහා ඉස්ත්‍රික්ක, උඳුන් හෝ වෙනත් කිසිදු අධික තාප ප්‍රභවයක් භාවිත නොකළ යුතුය.

නියමිත පරිදි සම්පූර්ණයෙන්ම වියළා ගැනීමෙන් පසුව එම මුදල් නෝට්ටු ගනුදෙනු සඳහා තවදුරටත් භාවිතයට ගත නොහැකි මට්ටමක පවතින්නේ නම් ඒවා හුවමාරු කරගැනීම සඳහා ඕනෑම වාණිජ බැංකුවක් වෙත ඉදිරිපත් කිරීමට ජනතාවට හැකියාව පවතී.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button