දේශීය පුවත්

“ගෙදර ගිහින් සුදු අම්මාගේ ෆොටෝ එක බදාගෙන ඇඬුවා විතරයි!” රෙෂිකාට පෙම්වතා දුන් දරුණු දඬුවම. හොරණම හඬවන අනුවේදනීය කතාව..

හොරණ, බුලත්සිංහල මාර්ගයේ ගෝවින්න ප්‍රදේශයම පවතින්නේ මහා මළගෙයක සිරියක් ගනිමින්. 

මීට දින කිහිපයකට පෙර ඒ නිවසට කවුරුත් වැල නොකැඩී ඇදී ආවේ ගමේ කාගේත් හිත දිනාගෙන සිටි, 25 හැවිරිදි රෙෂිකා ගිම්හානිට අත් වූ අවාසනාවන්ත ඉරණම ගැන අසා ඇති වූ කම්පනය නිසයි.

පවුලේ එකම දරුවා වූ රෙෂිකා හැදී වැඩුණේ පියාගේ අභාවයෙන් පසු මවගේ සහ මිත්තණියගේ දැඩි සෙනෙහස මැදයි. ඇය වඩාත්ම ලංව සිටියේ ඇගේ මිත්තණිය හෙවත් “සුදු අම්මා”ටයි. මීට මාසයකට පෙර සුදු අම්මා මෙලොව හැර යාමත් සමඟ රෙෂිකා දැඩි මානසික කඩා වැටීමකට ලක්ව සිටියා. වැඩ ඇරී නිවසට පැමිණෙන සෑම මොහොතකම ඇය කළේ සුදු අම්මාගේ ඡායාරූපය තුරුල් කරගෙන වැළපීමයි.

කහතුඩුව ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කළ රෙෂිකා, එහිම සේවය කළ තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා තිබුණා. එම තරුණයා විවාහ වී දික්කසාද වූ අයෙකු වුවත්, රෙෂිකාගේ පාර්ශ්වයෙන් ඒ සඳහා අකමැත්තක් තිබුණේ නැහැ.

නමුත් සුදු අම්මාගේ වියෝවෙන් පසු රෙෂිකා නිවසේදී දුරකථනයෙන් පෙම්වතා සමඟ කතා කිරීම තරමක් සීමා කර තිබුණේ ඇගේ සිතේ තිබූ දැඩි ශෝකය නිසයි. “අපි පැය 8 ක් එකට වැඩපළේ ඉන්නවනේ.. ගෙදර ඉන්න ටිකේ මට සුදු අම්මා ගැන හිතන්න දෙන්න” යැයි ඇය ඔහුගෙන් ඉල්ලා සිටියත්, එම පෙම්වතා එය වටහාගෙන තිබුණේ ඇය තමන් මග හරින බවට වූ සැකයක් ලෙසයි.

පසුගිය 04 වැනිදා උදෑසන සුපුරුදු පරිදි සේවයට වාර්තා කළ රෙෂිකා ආයතනයට ඇතුළු වනවාත් සමඟම, සැඟවී සිටි පෙම්වතා විසින් ඉතා අමානුෂික ලෙස ඇගේ ගෙල කපා දමා පලා ගොස් තිබුණා. කණ්ඩායම් නායිකාවක ලෙස උසස් වීමක් පවා ලැබීමට නියමිතව සිටි මේ අහිංසක යුවතිය, ආදරය වෙනුවෙන් සැක කළ ඔහු අතින් එතැනම අවසන් හුස්ම හෙළුවා.

බදුල්ල, කැප්පෙටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මෙම සැකකරු අපරාධයෙන් පසු පලා ගොස් ඇති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. දහසක් ඥාති මිත්‍රාදීන්ගේ දෙනෙත් කඳුළින් තෙත් කරමින් රෙෂිකා පසුගිය 06 වැනිදා වෙදගෙවත්ත පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියාය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!