සයුරෙන් එහා පුවත්
ඉරානයේ ඉස්ෆහන් (Isfahan) න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ සුන්බුන් යට පවතින යුරේනියම් ගැන හෙළිදරව්වක්..

පසුගිය වසරේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරානයේ ඉස්ෆහන් (Isfahan) න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ සුන්බුන් යට පවතින ඉහළ සාන්ද්‍රණයකින් යුත් යුරේනියම් සංචිත යළි ලබාගැනීමේ හැකියාවක් ඉරානයට හෝ වෙනත් කණ්ඩායමකට පවතින බව අමෙරිකානු බුද්ධි අංශ විසින් තහවුරු කර ඇතැයි නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත වාර්තාවක් පළ කරමින් දන්වා තිබේ. රහසිගත වාර්තා උපුටා දක්වන නිලධාරීන්ට අනුව, ඉතා පටු පිවිසුමක් හරහා ගෑස් සිලින්ඩරවල බහා ඇති මෙම යුරේනියම් වෙත ළඟාවීමට ඉරානයට මේ වනවිට අවස්ථාව උදාවී ඇති අතර, එය න්‍යෂ්ටික අවියක් නිපදවීමේදී ඉතා වැදගත් සාධකයක් වනු ඇත.
ඔවුන්ට කොපමණ වේගයකින් මෙම යුරේනියම් තොගය වෙනත් ස්ථානයකට ගෙන යා හැකිද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත.
අමෙරිකානු ඔත්තු බැලීමේ ආයතන විසින් ඉස්ෆහන් මධ්‍යස්ථානය නිරන්තර නිරීක්ෂණයට ලක්කරන අතර, කිසියම් පාර්ශ්වයක් එම යුරේනියම් රැගෙන යාමට උත්සාහ කළහොත් ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තමන් සතු බව අමෙරිකානු බලධාරීහු පවසති. දැනට පවතින තොරතුරු අනුව ඉරානය සතුව 60% ක සාන්ද්‍රණයකින් යුත් යුරේනියම් රාත්තල් 970 ක පමණ ප්‍රමාණයක් පවතින අතර, න්‍යෂ්ටික අවියක් සඳහා එය 90% දක්වා වර්ධනය කළ යුතුව ඇත. ඉරානයේ කේන්ද්‍රාපසාරී යන්ත්‍ර (centrifuges) සක්‍රීය මට්ටමේ පවතින්නේ නම් එය සාපේක්ෂව පහසු පියවරකි. ඉරානයේ නටාන්ස් (Natanz) සහ ෆෝඩෝ (Fordo) යන භූගත පහසුකම් සඳහා අමෙරිකාව සිය දැවැන්තම සාම්ප්‍රදායික අවිය (Massive Ordnance Penetrator) භාවිත කළ අතර, ඉස්ෆහන් කඳවුරට ටොමහෝක් (Tomahawk) කෲස් මිසයිල ප්‍රහාර එල්ල කරන ලදී. මෙම ඉස්ෆහන් මධ්‍යස්ථානයේ යුරේනියම් වායුව ඝන ලෝහයක් බවට පත්කරන අතිශය වැදගත් පහසුකම් මෙන්ම පර්යේෂණ ප්‍රතික්‍රියාකාරකයක් ද ස්ථාපිත කර තිබිණි.
පසුගිය 2025 ජූනි මාසයේදී අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට පෙර, ඉස්ෆහන් හි භූගත උමං ජාලයේ පිවිසුම් මාර්ග පස් දමා වසා දැමීමට ඉරාන බලධාරීන් කටයුතු කර තිබිණි. ප්‍රහාරයෙන් අනතුරුව ලබාගත් ඉහළ විභේදනයකින් යුත් චන්ද්‍රිකා ඡායාරූප මගින් අනාවරණය වී ඇත්තේ ඉරානය විසින් කැනීම් යන්ත්‍රෝපකරණ භාවිත කරමින්, මිසයිල ප්‍රහාරවල සුන්බුන් සහ පස් ඉවත් කරමින් එම භූගත උමං වෙත ප්‍රවේශ වීමට උත්සාහ කර ඇති බවයි. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ දෘශ්‍ය විමර්ශන කණ්ඩායමක් විසින් වාණිජ චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කරමින් මෙය තහවුරු කර ඇති අතර, ප්‍රධාන පහසුකමට උතුරින් වූ ප්‍රදේශයක කැනීම් සිදුකර කිසියම් වස්තුවක් වළලා ඇති අයුරුද නිරීක්ෂණය වී තිබේ. තවද, ප්‍රධාන පහසුකමට ඊසාන දෙසින් වූ ප්‍රදේශයේ සහ බටහිර දෙසින් වූ උමං පිවිසුම්වලද විශාල වශයෙන් පස් ඉවත් කිරීමේ කටයුතු පෙබරවාරි මාසය තුළ සිදුවී ඇති බව විද්‍යා සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ආයතනයේ (ISIS) පර්යේෂකයෝද පෙන්වා දෙති. කෙසේ වෙතත් මෙම පස් වෙනත් ස්ථානයකට බැහැර කළේද, නැතහොත් අනාගත ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා උමං පිවිසුම් වෙත ගෙන ගියේද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.




