‘නිර්දේශ ක්‍රියාත්මක කරන තෙක් හැටන් පාරේ සිරිපා කරුණා කිරීම සීමා කරන්න’- ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

ශ්‍රී පාදස්ථානයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ සිදුව ඇති නාය යෑම් තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු එම මාර්ගය ඔස්සේ බැතිමතුන් ගමන් කිරීම සීමා කළ යුතු බවට එම ආයතනය නිර්දේශ කර තිබේ.
හැටන් ප්‍රවේශ මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානයට පිවිසීමේදී හමුවන මහගිරිදඹය ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ නාය යෑම් තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම නිර්දේශය ඇතුළු නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, තමන් නිකුත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු දැනට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ එම අස්ථාවර කලාපය හරහා බැතිමතුන් පිවිසීම වැළැක්විය යුතුය යන්න අවධාරණය කරමින් එම සංවිධානය රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් යොමු කොට ඇති අතර සේවා අවශ්‍යතා සහ අනිවාර්ය ආගමික වතාවත් සිදුකිරීම සඳහා සීමාන්තික ලෙස පිවිසුම භාවිත කළ හැකි බව ද එම ලිපියෙහි දක්වා ඇත.
එමෙන් ම, එවැනි සීමාන්තික පිවිසුම්ද රාත්‍රී කාලයේදී මෙම ස්ථානය ආලෝකවත්ව තබා ගනිමින් සහ භූමිය අස්ථාවර වීම සම්බන්ධව දැඩි ලෙස අවධානය යොමු කරමින් සිදුකළ යුතු බව ද එම ලිපියෙන් අවධාරණය කොට දැක්වේ.
ශ්‍රී පාදස්ථානයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ ඇතිවූ නාය යෑම් තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා දෙසැම්බර් 2 වන දා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පවතින භූ අස්ථාවර තත්ත්වය සම්බන්ධව ගවේෂණයක් සිදුකර ඇත.
එම ගවේෂණයේදී ලබාගත් මූලික නිරීක්ෂණ අනුව දැනට පවතින අවදානම් තත්ත්වය අවම කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, අස්ථාවර වීම් සිදුව ඇති කොටසේ පවතින පඩි පෙළේ හානියට පත් කොටස කොන්ක්‍රීට් හෝ ගල් බැම්මක් (Random Rubble Masonry) යොදා සකස් කළ යුතු අතර එහිදී එහි පාදම මව් පාෂාණයට ලකනක (Dowel) මගින් සම්බන්ධ කළ යුතුය.
- නාය යෑම සිදු වූ කොටසට තවදුරටත් ජලය ගලා යෑම වැළැක්වීම සඳහා පඩි පෙළේ දෙපසට පිහිටි පැත්තේ පැති බැම්මක් අවම මිලිමීටර් 300ක් පමණ උසකට ඉදිකළ යුතු ය.
- අස්ථාවර තත්ත්වයේ ඇති පාෂාණ කොටස්වල පවතින සියලු කුස්තුර සිමෙන්ති මිශ්‍රණයක් යොදා හොඳින් වසා දැමිය යුතු ය.
- ප්‍රවේශ මාර්ගය හරහා තවදුරටත් සුන්බුන් ගලා යෑම වැළැක්වීම සඳහා එහි පහළ කලාපයේ පිහිටි මාර්ග කොටසෙහි දකුණු පසට වන්නට මිලිමීටර් 500ක් පමණ උසැති පැති බැම්මක් ඉදි කළ යුතුය.
- නාය යෑම ආරම්භ වූ කොටසේ පඩි පෙළට ඉහළින් වියනක් සේ රැඳී ඇති සියලු ශාක කොටස් / පඳුරු / පස් ප්‍රවේශමෙන් ඉවත් කළ යුතු ය.
- නාය යෑම සිදුව ඇති කොටසේ දෙපස රැඳී පවතින අස්ථායී පඳුරුද ඉවත් කළ යුතු ය. මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් පසු සාමාන්‍ය පරිදි හැටන් පිවිසුම් මාර්ගය බැතිමතුන්ට ගමන් කිරීම සඳහා විවෘත කළ හැකි බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය, ඉන්ජිනේරු ආසිරි කරුණාවර්ධන ලේකම්වරුන්ට යොමු කළ ලිපියෙන් අවධාරණය කර තිබේ.
එම ලිපියෙහි පිටපත් ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ට, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට, ආරක්ෂක ලේකම්වරයාට, හමුදාපතිවරයාට, පොලිස්පතිවරයාට සහ වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයාට යොමුකොට ඇතැයිද සඳහන් වේ.




