රටටම සුබ ආරංචියක්..! ළමා රෝගින් සුවවීම වැඩි වෙලා… අපේක්ෂා රෝහලෙන් පණිවිඩයක්…

රටටම සුබ ආරංචියක්..! ළමා රෝගින් සුවවීම වැඩි වෙලා… අපේක්ෂා රෝහලෙන් පණිවිඩයක්…

ගොඩ වෙද්දු පස්සෙ යන්න එපා
පිළිකාව සුවපත් කරන්න පුළුවන්
වසරකට පිළිකා රෝගීන් 40,000කට ආසන්න සංඛ්‍යාවක් වර්තා වෙනවා…
2050 වනවිට 77%කි පිළිකා රෝගීන් වැඩි වෙනවා…
මෙරට කාන්තාවන්ට පියයුරු පිළිකා හැදෙන ප්‍රවණතාවය වැඩියි…
හරක් මස් කන අයට පිළිකා හැදෙන ප්‍රවණතාවය වැඩියි…
දැනට වැඩිපුර වාර්තා වෙන්නෙ මුඛ පිළිකා…
බෝ නොවන රෝග නිසා දෙවැනියට මියයන්නේ පිළිකා රොගීන්…

‘පිළිකාව’ නම ඇසෙනවිට ද මිනිස්සු බිය වෙති. මෙරට පමණක් නොව, මුළු ලෝකයේ ම මිනිස්සු පිළිකාවට බිය වෙති. පිළිකාව යනු මුළු ලෝකයම වෙළාගත් මාරාන්තික පිළිලයකි. ලෝකයේ විවිධ රටවල දේශපාලන නායකයන්, ලෝකප්‍රකට නළු නිළියන් පිළිකාවේ ගොදුරු බවට පත්වෙමින් මියගොස් සිටින බව සැබෑය. ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ රංගන ශිල්පියකු හා ගායකයකු වූ රොබට් මිචම් මියගියේ ද පෙණහලු පිළිකා රෝගයේ ගොදුරුක් වෙමිනි. අසීමිත ලෙස දුම්පානයට ලොල් වී සිටි රොබට් සිගරැට් ප්‍රචාරක දැන්වීමකට ද පෙනී සිටියේය. සිගරැට් ප්‍රවර්ධන වැඩසටහනකට පෙනී සිටි රොබට් දුම්වැටිය විසින්ම මරණයට ගොදුරු කරගැනීම ‘දිට්ට ධම්ම වේදනීය කර්මය’ පඩිසම් දීමක් වැනිය. ව්‍යාංගයෙන් ගංජා, දුම්වැටි, දුම්කොළ ප්‍රචාරණයන්ට පෙනී සිටින කලාකරුවෝ මෙරට ද සිටිති. මත්පැන්, දුම්පානය සහ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටින කලාකරුවෝ ද අතිවිශාලය. මෙරට කලාකරුවෝ විශාල පිරිසක් පිළිකාවට ගොදුරු වී මියගොස් ඇති බව ද සැබෑ ය.

මහරගම අපේක්‍ෂා රෝහලේ හිටපු අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පිළිකාවට ගොදුරු වී මියගිය නළු නිළියන් ගැන වාර්තා කරමින් ගැබ් ගෙල පිළිකාවට ගොදුරු වී මියගිය රෙබෙකා නිර්මලිගේ හුස්ම යන මොහොතේ ළඟ සිටි බව ද අප සමග පැවසුවේය. මොනිකා රුවන් පතිරණ, එච්. ඒ. පෙරේරා, හෙන්රි ජයසේන, ටි්‍රලිෂියා ගුණවර්ධන, හෙන්රි කල්දේරා, ජනේෂ් සිල්වා, සතිශ් පෙරේරා, ෂේන් ගුණරත්න, සුනිල් පතිරණ, රේඛාව චිත්‍රපටයේ රඟපෑ ළමා නළු නිළියන් දෙපළ වන සෝමපාල ධර්මප්‍රිය, මර්ටල් ප්‍රනාන්දු මියගියේ පිළිකාවට ගොදුරු වී බව වෛද්‍ය වසන්ත දිසානායක අප සමග පැවසුවේය. කලාකරුවන් පිළිකාවට ගොදුරුවීම වැඩි වී ඇත්තේ නරක ආහාර පුරුදු සහ අධික ලෙස මත්පැන්, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා බව ද වෛiවරයා පැහැදිලි කළේය. එම තොරතුරු සාකච්ඡා කරන මොහොතේ ද ජයලත් මනෝරත්න මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. ඊට ටික කාලයකට පසුව විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ද නොසිතූ මොහොතක දැයෙන් සමුගෙන ගියේ ය. ඒ නිහතමානී, නිරහාංකාර වෛiවරයා මියගියේ පිළිකාවට ගොදුරු වී නොවේ, හෘදයාබාධයක් වැලඳීමෙනි.

මේ වනවිට ගෝලීය බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන දෙවන වැඩිම මරණවලට හේතුව පිළිකාව ය. බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව විසින් සිදු කළ පර්යේෂණයක දත්තවලට අනුව, වයස අවුරුදු 50ට අඩු පිරිස් අතර පිළිකාව වර්ධනය වීම ඉහළ ගොස් ඇති බව නිරීක්‍ෂණය වේ. කැපී පෙනෙන ලෙස වර්ධනය වන ගෝලීය සෞඛ්‍යය අභියෝගයක් වන මේ තත්ත්වය ශ්‍රී ලංකාව වැනි රටවලට විශාල වශයෙන් බලපානු ඇති බවට ද තොරතුරු වාර්තා වෙමින් තිබේ. එහෙත් මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පෙන්වා දෙන ආකාරයට මෙරට තරුණ ප්‍රජාව පිළිකාවට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් නැත. බහුල වශයෙන් පිළිකා රෝගයට ගොදුරු වනුයේ වයස අවුරුදු 40 සිට 60 දක්වා වයස් කාණ්ඩයේ පුද්ගලයන් ය. ජනගහනය දිනෙන් දින වයස්ගත වීම ද ලොව පුරා පිළිකාව වර්ධනය වීමට ප්‍රබල හේතුවක් වී ඇති බව ලෝක සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. දකුණු ආසියාවේ ජනගහනය වේගයෙන් වයස්ගත වන රටවල් අතර අපේ රට ඉදිරියෙන්ම සිටී. මෙරට වයස 60ට වැඩි ජනගහණය ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී. 2040 වර්ෂය වනවිට මෙරට 60ට වැඩි පුද්ගලයන් අතර පිළිකාවට ගොදුරු වන සංඛ්‍යාව 25%ක් පමණ වන බව වාර්තා වේ. ජාතික පිළිකා මර්දන වැඩසටහන නිකුත් කර ඇති දත්තවලට අනුව 2005 සිට 2021 වසරවල දී පිළිකා රෝගීන් ක්‍රමිකව වර්ධනය වෙමින් තිබේ. 2021 වරෂයේදී මෙරටින් වාර්තා වී ඇති පිළිකා රෝගීන් සංඛ්‍යාව 37,753 කි. 2022 වර්ෂයේදී වාර්තා වී ඇති පිළිකා රෝගීන් සංඛ්‍යාව 33,243 කි. පසුගිය වර්ෂයේදී ද පිළිකා රෝගීන් 34000ට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. එකළොස්දහසකට වැඩි සංඛ්‍යාවක් මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබාගෙන ඇත. ඒ අතර ළමා පිළිකා රෝගීන් 800කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

මෙරටින් බහුලව වාර්තා වනුයේ කාන්තා පිළිකා රෝගීන් ය. එම පිරිස අතර පියයුරු පිළිකා රෝගී කාන්තාවන් වැඩිය. මෑත කාලයේ සිට තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිතව පිළිකා හටගැනීමේ වැඩි ප්‍රවණතාවයක් පෙනුම් කරන අතර මහා අන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්‍රිතව පිළිකා හටගත් කාන්තාවන්ගේ ද වැඩි අගයක් පෙනුම් කරයි. පිරිමින් අතර බහුලව වාර්තා වනුයේ මුඛ පිළිකා ය. දෙවනුව පෙණහලු පිළිකා ය. මිනිසුන්ට වැලඳෙන පිළිකා වර්ග කිහිපයකි. මුඛ පිළිකා, පියයුරු පිළිකා, පෙණහලු පිළිකා, අක්මා පිළිකා, බඩවැලේ පිළිකා, ගුද මාර්ග පිළිකා, ගෙල පිළිකා මොළේ පිළිකා ප්‍රධාන ය. කෙනෙකුගේ ශරීරය තුළ මෙවැනි පිළිකාවක් වර්ධනය වෙමින් තිබෙනවිට පෙර සිට හඳුනාගැනීමේ ලක්‍ෂණ ද මතු වේ. මුඛයේ තුවාල ඇතිවීම, ගෙඩි මතුවීම, සුදු පැහැති පැල්ලම් ඇතිවීම මුඛ පිළිකා තත්ත්වයක් බවට අනුමාන කළ හැකි ය. කෑම ගිලීමට අසීරුවීම ගල නාලයේ පිළිකා තත්ත්වයක් විය හැකිය. මුත්‍රා කරනවිට දැවිල්ලක් දැනේ නම් මුත්‍රාශයේ පිළිකාවක් බවට අනුමාන කළ හැකි ය. පුරස්ථි ග්‍රන්ථිවල පිළිකා තත්ත්වයක් නම් මුත්‍රා කරනකොට හිර වන තත්ත්වයක් දැනේ. බඩවැලේ පිළිකාවකදී මළපහ කිරීමේ පුරුදුවල වෙනසක් ඇති වේ. ඇතැම්විට බඩ වේළෙන ස්වාභාවයක් සහ බඩ යන ගතියක් පෙන්නුම් කෙරේ. පියයුරු පිළිකාවේදී ගෙඩියක් හෝ ගැටිත්තක් මතු වේ. සමේ වෙනස්කම් ඇති වීමට ද ඉඩ තිබේ. පියයුරු පිළිකාව කිහිලි ප්‍රදේශය දක්වා පැතිරී යෑමට ඉඩ තිබේ. කිහිල්ලෙ ගැටිති මතුවන තත්ත්වයන් ද පෙන්නුම් කෙරේ. මෙරට කාන්තාවන්ට පියයුරු පිළිකා වැලඳෙන ප්‍රවණතාවය අතිශය වැඩිය. එහෙත් මෙරට ජනගහනයෙන් බහුලව වාර්තා වනුයේ මුඛ පිළිකාව ය. බුලත්විට හැපීමේදී බොහෝ වේලාවක් හපය මුඛයේ රඳවා තබාගැනීම, මත්පැන් පානය, අධික ලෙස දුම්පානය, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම සහ අයහපත් මුඛ සෞඛ්‍ය ‘මුඛ පිළිකා’ වර්ධනයට ප්‍රධාන සාධක ය. එහෙත් ගෝලීය වශයෙන් බහුලව වාර්තා වනුයේ පෙණහලු ආශ්‍රිත පිළිකා ය. දෙවැනියට පියයුරු පිළිකා ය. තෙවනුව ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා ය.

රටටම සුබ ආරංචියක්…ළමා පිළිකා රෝගීන් සුවවීම වැඩිවෙලා
අධික ලෙස මස් අනුභව කිරීම ද අන්ත්‍ර පිළිකාවට අතවැනීමකි. අධික ලෙස හරක් මස් අනුභව කරන මුස්ලිම් ජනතාව බහුල වශයෙන් බඩවැලේ පිළිකා රෝගයට ගොදුරු වෙමින් සිටින බව ද වාර්තා වේ. කුකුළු මස් බහුලව ආහාරයට ගැනීමෙන් පිළිකා වැලඳෙන බවට විද්‍යාත්මකව සනාථ වී නැත. එහෙත් කුකුළු මස් ද සීමාසහිතව ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට හිතකරය. ඕනෑම මස් වර්ගයක් බහුල වශයෙන් ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකර ය. සොසේජස්, මීට් බෝල්ස් කෑමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම ශරීර සෞඛ්‍යයට අතිශය යහපත් ය. එවැනි රස ගුලි තනි කර වස ය. මාළු ශරීරයට අතිශය ගුණදායක ය. හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වයට මාළු ඉතාම ගුණදායක ආහාරයකි. එහෙයින් මාළු කොපමණ ආහාරයට ගත්ත ද අගුණයක් නැත. දිනකට බිත්තරයක් හෝ කෑම වේලට එකතු කරගැනීම ශරීර සෞඛ්‍යයට යහපත්ය. ගැඹුරු තෙලේ බඳින සියලුම ආහාර වර්ග බහුල වශයෙන් කෑමට ගැනීම ශරීර සෞඛ්‍යයට දැඩි හානිකර තත්ත්වයකි. ෆයිඩ් රයිස්, තෙම්පරාදු කරන ලද කෑම දිනපතා ආහාරයට ගැනීම ආයුෂ අඩු කරගැනීමකි. පිසින ලද තෙල් නැවත, නැවත පාවිච්චියට ගැනීම අහිතකරය. රසකාරක, වර්ණකාරකවල පිළිකා කාරක බහුල වශයෙන් අඩංගු වී ඇති බව පුංචි දරුවෙක් පවා දන්නා කතාවකි. විවිධ වර්ණ සහිත බීම වර්ගවල ද පිළිකා කාරක බහුලව තිබේ. එවැනි පැණි බීම වර්ග බහුලව පානය කරන පුද්ගලයන්ට දියවැඩියාව, හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාවය ද අතිශය ඉහළ ය. අධික පැණි රස කෑම, විශේෂයෙන්ම කේක් වර්ග ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකරය. එදිනෙදා කෑම වේලට හැකි තරම් තන්තුමය ආහාර, නිවුඩු සහිත සහල්, රසායනික පොහොර භාවිතයෙන් තොර පලා වර්ග, අලුත් එළවළු වර්ග එකතු කරගැනීම ශරීර සෞඛ්‍යයට ඉතාම යහපත් ය. දේශීය පලතුරු බහුලව කෑමට එකතු කරගැනීමට හැකි නම් ශරීර සෞඛ්‍යට යහපත් ය. බ්‍රිතාන්‍යයේ පිළිකා පිළිබඳ සඟරාව සහ ලැන්සෙට් වාර්තාවන්ට අනුව පිළිකා ඇතිවීමට ප්‍රධාන වැරැදි ආහාර ගැනීමේ පුරුදු ය. ස්ථුලභාවය සහ හෝර්මන අක්‍රියවීම පිළිකා අවදානම වැඩිවීමට හේතු වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

නරක ආහාර පුරුදුවලින් වැළකී සිටීම පිළිකාවට පමණක් නොව දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග කිහිපයකට ගොදුරු නොවී සිටීමට පිළියමකි. එහෙත් ජානමය තත්ත්වයකින් වෙනත් ආකාරයකින් මෙවැනි රෝග හටගැනීමේ ප්‍රවණතාවයක් තිබේ. බොහෝවිට මෙවැනි රෝග මතු වනුයේ වයස අවුරුදු 40න් පසුව ය. එහෙයින් විශේෂයෙන්ම එවැනි වයස්වල පසු වන පුද්ගලයන් නිරන්තරයෙන් ශරීර සෞඛ්‍යය ගැන අවධානයෙන් සිටිය යුතුය. පිළිකාව උත්සන්න වී එලොව ගිහින් මෙලොව පැමිණි පුද්ගලයන් බොහෝ ය. මේ ආත්මයේ නැවතීම තීරණය වනුයේ පුද්ගලයන්ගේ දෛවය සහ රෝගය සම්බන්ධයෙන් දක්වන උනන්දුව මතය. මේ වනවිට පිළිකාව නිට්ටාවට ම සුපවත් කිරීමට ප්‍රතිකාර තිබෙන බව වාර්තා වේ. සුව කිරීමට නොහැකි පිළිකා වුවද කඩිනමින් නිසි ප්‍රතිකාර ගැනීමෙන් කාලයක් රෝගය පාලනය කරගත හැකි ය. අවශ්‍ය වන්නේ ශරීරය පුරා පිළිකාව වර්ධනය වීමට පෙර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම ය. මුල්අවධියේම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීමෙන් කුඩා දරුවන්ගේ පිළිකා රෝගී තත්ත්වයන් ඉතා පහසුවෙන් සුවපත් කරගැනීමට ඇවැසි පහසුකම් මහරගම අපේක්‍ෂා රෝහල සතුව තිබෙන බව එම රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා අප සමග පැවසුවේ ය.

“මේ වෙනකොට අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන ළමා පිළිකා රෝගීන් 75%ක් පමණ සුවය ලබනවා. අපි උත්සාහ දරමින් ඉන්නේ එම සංඛ්‍යාව 85%ක් දක්වා වර්ධනය කරගන්න. මහරගම අපේක්‍ෂා රෝහලේ තිබෙන පහසුකම් එක්ක ඒ වර්ධනය ඇති කරගන්න පුළුවන්. කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්, කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් ලබා දීලා තියෙනවා. අපේක්‍ෂා රෝහලට එම්.ආර්.අයි. යන්ත්‍රයක් තිබුණේ නෑ. දැන් එකත් ලැබෙනවා. එම යන්ත්‍රය සවි කිරීමට අවශ්‍ය ගොඩනැඟිල්ලේ වැඩකටයුතු මේ වෙනකොට කරගෙන යනවා. තවත් වාට්ටු සංකීර්ණයක් ස්ථාපනය කිරීමට කටයුතු කරගෙන යනවා. ඒ වගේම ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට අවශ්‍ය විකිරණ ප්‍රතිකාර, ඖෂධ ප්‍රතිකාර නොඅඩුව ලබාදීමට කටයුතු කරගෙන යනවා. මේ වෙනකොට අපේක්‍ෂා රෝහලේ පහසුකම් ඉහළ මට්ටමක තියෙනවා. ළමා, වැඩිහිටි සියලු රෝගීන්ට පහසුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පහසුකම් තියෙනවා. ඒ නිසා පිළිකාව හඳුනාගත් මොහොතේම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රජයේ රෝහලකට යොමුවීමට ජනතාව වගබලා ගන්න ඕනෑ. මුදල් ඉපැයීමේ අරමුණින් පිළිකා සුව කරන බවට බොරු ප්‍රචාරණයන් කරගෙන යන පුද්ගලයන්ට රැවටෙන්න එපා. වහසි බස්වලට නොරැවැටී රජයේ රෝහලකට යොමුවී ප්‍රතිකාර ලබාගැනීමෙන් කෙටි කාලයකින් පිළිකාව සුවපත් කරගන්න පුළුවන්. සුවපත් කරන්න බැරිම පිළිකාවක් වුණත් පැතිරීම පාලනය කර කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ගොඩ වෙදකම් පස්සෙ ගිහින් පිළිකාව ඇඟ පුරා දිව්වට පස්සෙ රෝහල්ගත වෙලා ඵලක් නෑ…” එසේ කීවේ අප නොවේ, මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi අරුණ ජයසේකර මහතා ය. ඔහු පෙන්වා දෙන යථාර්ථය තේරුම් ගැනීමට බුද්ධියක් ඇති පිළිකා රෝගීන්ට තව කාලයක් මෙලොව එළිය බැලිය හැකි ය.

ගොඩ වෙද්දු පස්සෙ දුවන රෝගීන්ට දෙවි පිහිට ය.

2025 වසර වනවිට ලෝකයේ පිළිකා රෝගීන් විශාල වශයෙන් වැඩි වන බව ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් වසර කිහිහිපයකට පෙර ප්‍රකාශ කර තිබිණි. මේ වනවිට එය යථාර්ථයක් බවට පත් වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවලට අනුව 2050 වර්ෂය වනවිට වසරකට වාර්තා වන පිළිකා රෝගීන් සංඛ්‍යාව 77%කින් වැඩිවීට ඉඩ තිබේ. පහළ සහ මැදි ආදායම් ලබන රටවලට වැඩි ප්‍රතිශතයකින් එම තත්ත්වය බලපානු ඇති බව ද එම සංවිධානය පෙන්වා දී තිබේ. එහෙයින් මාරාන්තික පිළිකා මාරයා සමග සටන් වැදීමට රටක් වශයෙන් මේ වනවිට අප සූදානම් වී සිටිය යුතුය. රටට ඇති එකම පිළිකා රෝහල නවීන තාක්‍ෂණය සමග දියණු කරමින්, පිළිකා වසංගතය මර්දනය කිරීමට හැකි පමණින් දායකත්වය ලබාදෙන සියලු පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ලබාගෙන පිළිකාව සමග සටන් කිරීමට රට සන්නද්ධ කළ යුතුය. එහෙත් මේ වනවිට නිර්මාණය වී ඇත්තේ මහරගම පිළිකා රෝහලට පමණක් නොව, මෙරට සෞඛ්‍ය පද්ධතියේ සංවර්ධනයට දායකත්වය ලබාදෙන පුද්ගලයන්, ආයතන ප්‍රතික්ෂේප වන තත්ත්වයකි. ඒ ගැන කතා කිරීම දුකකි. එහෙයින් අපි නතර වීමු.

තරංග රත්නවීර

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *