නයෝමි තක්ෂිලා දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක බව ඇයගේ රංගන හැකියාව අධ්‍යයනය කළ ඕනෑම අයකු නිසැකයෙන්ම පිළිගනු ඇත. වේදිකාව මෙන්ම පුංචි තිරය ඇය මේ වනවිටත් ඉහළින්ම ජයගෙන ඇත. ‘‘නීල පබළු” ටෙලි නිර්මාණයේ ‘‘පූජා” ප්‍රේක්ෂක ඔබට කිසිදා අමතක නොවන චරිතයක් බව සැබෑය. පූජා ඇයට ජනප්‍රියම සම්මානය හිමිකර දෙද්දී ‘‘පත්මා” ඇය හොඳම නිළිය සම්මානය කරා ගෙන ගියාය. ඒ ‘‘අඳුන්ගිර” ටෙලි නිර්මාණයේ ප්‍රබල රංගනය උදෙසාය. එතෙකින් නොනැවතුණු ඇය ‘‘සුබ සන්ධ්‍යාවක්” වේදිකා නිර්මාණයේ ලීසාට පණ පොවමින් පසුගිය රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබූවාය. ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන ‘‘RAT 403” සහ ‘‘රාග” ටෙලි නිර්මාණ ඔස්සේ ඇය මේ දිනවල නැවතත් ඔබ හමුවට එන්නීය.
වසර ගණනාවක් තිස්සේ පූජා නිසා කාර්යබහුල වෙලා හිටිය නයෝමි තාමත් ඒ විදිහටම කාර්යබහුලයි ද?
ඇත්තටම ඔව්. නීලපබළු ටෙලි නිර්මාණයේ පූජා නිසා මං අවුරුදු ගාණක්ම ප්‍රේක්ෂකයන්ගේ ඇණුම් බැණුම්වලට ලක් වෙලා අවසානයේ ඒ ප්‍රේක්ෂකයන්ගේම ආදරය දිනා ගන්න හැකියාව ලැබුණා. අදටත් ඒ ආදරේ විඳින්න ලැබීම සතුටක්. මේ දවස්වල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන RAT 403 සහ රාග කියන ටෙලි නිර්මාණ දෙකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒවගේ ෂූටින් වගේම වේදිකාවෙත් කාර්යබහුල වෙලා ඉන්නවා. සුබ සන්ධ්‍යාවක් වේදිකා නිර්මාණයත් එක්ක රට වටේ යනවා. ඒ වගේම චාලක රණසූරියගේ නාට්‍යයකටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව සචිත්‍ර රාහුබද්ධගේ නාට්‍යයක් සමඟ ඩුබායි යන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
RAT 403 කියන්නේ ඔබ මේ දවස්වල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන ටෙලි නිර්මාණයක් නේද?
ඔව්. ඒක වෙනස්ම අත්දැකීමක්. ඒ හරහා සමාජයට පණිවුඩයක් දෙන්නත් උත්සාහ කරනවා. පරිගණක සම්බන්ධ ජාවාරම් මේ වනවිට සමාජගත රෝගයක් බවට පත්වෙලා. මේකෙන් කියවෙන්නෙත් ඒ වගේ පුද්ගලයකුගේ ග්‍රහණයට හසුවන තරුණියකගේ කතාවක්. ඔහු විටින්විට ඇයව බ්ලැක්මේල් කරනවා. ඒ නිසා ඇය මානසිකව රෝගී වෙනවා. මේ දිහා වෙනත් කෝණයකින් බලන මවුපියන් ඇයව මෑණි කෙනෙක් ළඟට ගෙනියනවා. ඇයත් බොරු භූත දෝෂයක් මවා පාලා සල්ලි කඩා ගන්නවා.
රාග කියන්නෙත් ඔබ මේ දවස්වල ගොඩක්ම ප්‍රතිචාර ලබන ටෙලි නිර්මාණයක්?
‘‘රාග” ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ටෙලි නිර්මාණයක්. ඒක ටිකක් වෙනස් පැත්තකට දිවෙන කතාවක්. ළමා නිවාසෙක හැදුණු ළමයෙක් ඒකෙන් අයින් වෙලා ස්පා එකකට සම්බන්ධවෙලා වැඩ කරද්දි නොසිතූ මුදල් කන්දරාවක් ලැබෙනවා. ඒක උදුරගන්න තව තව අය පස්සෙන් පන්නද්දි විවිධ උපක්‍රම යොදමින් ඇය ඒකෙන් බේරෙන්න දරන උත්සාහය තමයි පෙන්නන්නේ.
මෙවර පැවති රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය බවට පත්වෙන්නේ ඔබ?
රාජ්‍ය නාට්‍ය උලෙළේ දීර්ඝ නාට්‍ය සඳහා හොඳම නිළිය සම්මානය ලැබෙනවා කියන්නෙ ලොකුම ජයග්‍රහණයක්. ඩග්ලස් සිරිවර්ධන සර්ගේ ‘සුබ සන්ධ්‍යාවක්’ වේදිකා නිර්මාණයේ ලීසාගේ චරිතය රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය ලෙස සම්මානය හිමිකර දුන්නා. මගේම ගුරුවරයාගේ නිර්මාණයකින් ඒ අවස්ථාව ලැබීම වාසනාවක් කියලයි මට හිතෙන්නේ. සර් හරිම ආදරේ කරපු නාට්‍යයක්. සර්ටත් ගොඩක් සතුටුයි. මීට කලින් 2015දී යෞවන සම්මාන උලෙළේ හොඳම නිළිය සම්මානය මට හිමිවුණා. ඒ සපුමල් අයියාගේ ‘හිනාවෙලා මිනිත්තුවක්’ වේදිකා නිර්මාණයට. ලංකාවේ තියෙන හොඳම සම්මාන උලෙළ දෙකේදීම හොඳම නිළිය විදිහට සම්මානිත වෙන්න ලැබෙනවා කියන්නේම ලොකු ජයග්‍රහණයක්. මුලින්ම වේදිකා නිර්මාණයක හොඳම නිළියට නොමිනේට් වීමම තමයි මට රංගනය ගැන ආසාව ඇති කළේ. හොඳ චරිතයක් ලැබුණොත් සිනමාවටත් සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා.
හොඳම නිළිය ලෙස සම්මාන ලැබීමට ඔබේ විශේෂත්වය මොකක්ද කියලා ඇහුවොත්?
ඇත්තටම ඒකට හොඳම නිළිය දෙන්න හේතූකාරණා කිහිපයක්ම තිබුණා. ඒක පරිවර්තන කතාවක්. ලීසා කියන සුදු ජාතික තරුණිය සුදු ජාතිකයන් අතින් අතවරයට ලක්වෙනවා. ලීසාව උගුලකට හසුකරගෙන ඔවුන් ඒක කළු ජාතික තරුණයෙක් පිට පටවන්න උත්සාහ කරනවා. අන්තිමට කළු ජාතිකයා ගැන ලීසාගේ හිතේ අනුකම්පා ඇතිවුණත් සුදු ජාතිකයන්ගේ බලය හමුවේ ඔහුට සාධාරණයක් ඉටුකරගන්න බැරි වෙනවා. අන්තිමට මේ දෙදෙනාටම ජීවිත අහිමි වෙනවා. ලීසාගේ චරිතය තුළ දීර්ඝ හැඟීම් ප්‍රකාශනයක් තිබුණා. පැය දෙකක් තිස්සේ එක දිගටම වේදිකාවේ ගතකරන්න වීමම අභියෝගයක්. පළමු දවසේ පිටපත කියවද්දිම මට හිතුණා මේක කවුරු කරලා රාජ්‍ය නාට්‍ය උලෙළට දැම්මත් හොඳම නිළියට සම්මාන හිමි වෙනවා කියලා. ඒ තරම් ලස්සනට ලියවුණු චරිතයක්.
ජයග්‍රහණය ගැන ඔබේ හිතෙත් බලාපොරොත්තුවක් තිබුණ ද?
ආසාව තිබුණත් ප්‍රවීණයන් එක්ක නොමිනේට් වෙද්දිම මං හිතාගත්තා කමක් නැහැ මට තව කල් තියෙනවානේ කියලා. ඇත්තටම ජයග්‍රහණය ලැබුණු ඒ අවස්ථාව මතක් වෙද්දිත් ඇස්වලට සතුටු කඳුළු එනවා. මං ආසාවෙන් හිටපු එකක්.
වේදිකාව කියන්නේ සජීවී රංගනයක යෙදෙන තැනක්. අපහසුතාවලට ලක්වෙලා නැද්ද?
ඕන තරම් අපහසුතාවලට ලක්වෙලා තියෙනවා. මුලින්ම මට කොමඩි හුරු නෑ. අපි කියන දෙබස්වලට මිනිස්සු විනාඩි ගණන් හිනාවෙද්දි අපි කියන ඊළඟ දෙබස ප්‍රේක්ෂකාගාරයට ඇහෙන්නෙ නෑ. ඒ වගේ වේලාවට හොඳ පුහුණුවක් ලබා නොතිබුණොත් ටයිමින් අවුල් වෙනවා. පුහුණුවත් එක්ක දැන් දැන් ඒ වගේ අවස්ථාවල ප්‍රේක්ෂකාගාරයට නොදැනෙන්න දෙබස් රිපීට් කරන්න මං පුරුදු වෙලා ඉන්නවා. එතකොට ටයිමින් මැනේජ් කරගන්න පුළුවන්. ඒ වගේම ‘හිනාවෙලා මිනිත්තුවක්’ වේදිකා නිර්මාණයේ දී “මැටිල්ඩා අක්කත් ඇවිත් ගියා” කියලා මං ඉෂාර අයියට කියන්න ඕන. ඒකත් එක්ක තමයි ඉදිරි දෙබස් ගලාගෙන යන්නේ. ඒත් එක්කම ඔහු නාන්න යනවා. ඒත් මට දැන් ඒ දෙබස අමතකයි. මතකෙට එන්නෙම නෑ. “මැටිල්ඩා අක්කා ඇවිත් ගියා කියන්නෙ ඇත්තද අර එළියෙන් කියන්නෙ” කියලා ඉෂාර අයියා එතැනදි මොළේ කල්පනා කරලා වැඩේ ගොඩ දැම්මා. ඒ වගේ රසවත් අත්දැකීම් තියෙනවා. හිනා නොවී ප්‍රේක්ෂකයන්ගේ හිනාව දරාගන්නවා කියන්නෙත් වේදිකාවේ අභියෝගයක් තමයි.
නාමලී ගමගේ.