හමුදාවේ රගර් ටීම් එකේ හිටියා
රෑට ත්‍රීවීලර් දිව්වා
මෝඩ තරිඳු මගේ පළමු චිත්‍රපටය
තරින්දි මගේ පෙම්වතිය
ජීවිතයේ තමන් දකින හීනය සැබෑ කරගන්න මොන තරම් නම් කටුකන, දුක් විඳින චරිත මේ ලෝකයේ කොතරම් නම් ඉන්නවාද? කාපු කටුවල හැටියට ඒ හීනය සැබෑ නොවෙයි කියලා අතහැරලා දාලා ගිහිල්ලා මොනවා හරි රස්සාවක් කරගෙන ඉන්නකොට ආපහු තමන්ගේ හිත කියන්නේ “මේක නෙමෙයි මගේ මාර්ගය කිව්වාහම” ආපහු ඒ හීනය එක්ක පොර බදනවා. එහෙම තමන්ගේ හීන එක්ක පොර බදලා, ඒ හීනය සැබෑ කරගත්තු තරුණ කොල්ලෙක් අද මා ඉදිරියේ හිටගෙන ඉන්නවා. ඔහු කටුකෑවේ, දුක් වින්දේ, රස්සාවල් රැසක් කළේ නළුවා කියන හීනය සැබෑ කරගන්න. මොහුගේ ඒ හීනය අද සැබෑ වෙලා තියෙන්නේ. මොහු නමින් චතුර රාජපක්ෂ. මේ දවස්වල සිනමාවේ ආදායම් වාර්තා අලුත් කරමින් තිරගත වෙන ‘මෝඩ තරිඳු’ තමයි චතුරගේ සිනමා ගමනේ දොරටු විවර කරන්නේ. නළුවෙක් වෙන්න හීන දැකපු චතුරගේ සිනමාවේ සිහිනය සැබෑ වෙලා තියෙන වෙලාවක මේ ගමන එන්න කරපු කැපකිරීම් ගැන ඔහුට කියන්න බොහෝ කතා ඇති. ඒ කතා ටික මේ වෙලාවේ ඔයාල දැනගන්න ඕනෑ කියලා අපි හිතුවා.

චතුරගේ සිනමා ගමන ආරම්භ කරපු මෝඩ තරිඳු මේ දවස්වල රජ ගමනක් යනවා. මොකද හිතෙන්නේ?
ඇත්තටම ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මේක තමයි මගේ පළමු සිනමා නිර්මාණය. මේක තමයි මගේ සිහිනය. මෝඩ තරිඳු මගේ සිනමා සිහිනය සැබෑ කළා. ඒ වගේම මගේ පළමු චිත්‍රපටය. මේ වගේ හවුස්ෆුල් වෙලා දුවන එක ගැන හරිම සතුටුයි.
‘මෝඩ තරිඳුව’ හම්බ වුණේ කොහොමද?
තිසර ඉඹුලාන තමයි මට කතා කළේ. මම ඒ පිටපත කියෙව්වාට පස්සේ ඒ පිටපතේ තිබුණ චූන්එක මට දැනුණා. අනික මම හැදුණ වටපිටාව ඇතුළේ තමයි මගේ චරිතය ගොඩනැඟිලා තිබුණේ. ඒක හින්දා මගේ චරිතය හඳුනා ගැනීමට ලොකු අමාරුවක් වුණේ නැහැ. අනික මගෙත් එක්ක රංගනයෙන් දායක වුණු සූර්යා, ධනුක, කනියානි අපිත් එක්කම ඉන්න කට්ටිය. මගේ යාළුවෝ වගේම මගේ ප්‍රදේශයේ රූගත කරපු නිසා තවත් මට ලේසි වුණා.
සිනා සාගරයක් මැදනේ චිත්‍රපටය නරඹන්නේ. කොහොමද රූගත කිරීම් අත්දැකීම්?
ෆිල්ම් එක බලද්දී සිනහව තිබ්බට රූගත කිරීමේදී ඇත්තටම අපිට ගොඩක් තිබුණේ බාධක තමයි. වැස්සෙන් අපිට ලොකු ප්‍රශ්න ටිකක් ආවා. මේක ඇත්තටම ටීම් වර්ක් එකක්. තරිඳු වතුරට පැන්න දර්ශනය රූගත කළේ ලොකු වැස්සක් මැද්දේ. ඒ දර්ශනය අපි එක වරින් රූගත කළා. එවෙලෙට ලොකු අභියෝගයක් වුණාට ඒක හරිම සුන්දරයි.

ඔබේ පළමු චිත්‍රපටය බොක්ස් ඔෆිස් වැඩක් වෙයි කියලා මුලදී හිතුවද?
මේ වගේ වෙයි කියලා හිතුවේ නැහැ. හැබැයි මම තිසර ඉඹුලානව දන්න හින්දා සහ ඔහුගේ වැඩ දන්න හින්දා මේක හොඳ වැඩක් වේවි කියලා විශ්වාසයක් තිබුණා. හොඳ නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕනෑ කියන එක ඇතුළේ අපි හිටියා. මගේ පළමු සිනමා නිර්මාණයට මගේ උපරිම දායකත්වය ලබාදෙනවා කියන තැන හිටියා.
ඔය අතරේ ඔබට උදයකාන්තගේ ‘මේඝ වර්ෂා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටත් ආරාධනා ලැබෙනවා?
ඇත්තටම උදයකාන්ත වර්ණසූරිය මහත්මයත් සමග වැඩ කරන්න ලැබීම ලොකු භාග්‍යයක්. උදයකාන්ත කියන්නේ සිනමාවේ දැවැන්තයෙක්. මම උදයකාන්ත මහත්තයාගේ මුලින්ම බලපු චිත්‍රපටය තමයි “හිරිපොද වැස්ස’. ඒක බලල තමයි මට නළුවෙක් වීමේ පිස්සුව ඇති වුණේ. ඇත්තටම මම හිතුවෙත් නැහැ මට උදයකාන්ත මහත්මයාගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපාන්න හම්බ වේවි කියලා.
උදයකාන්ත අයිය ද මුලින්ම චතුරට කතා කළේ?
මුලින්ම මට මෙහෙම වැඩකට සම්බන්ධ කළා කියලා හංසලී අක්ක තමයි කිව්වේ. ඊළඟ දවසේ මට උදයකාන්ත මහත්මයාගේ දුරකථන අංකයෙන් ඇමතුමක් ආවා. මම මුලින්ම විශ්වාස කළෙත් නැහැ. පස්සේ මට හිතුණා මම මහන්සි වෙන ගමන දැන් දැන් හරියාගෙන එනවා වගේම මල් ඵල දරනවා කියන විශ්වාසය කෙමෙන් කෙමෙන් දැනෙන්න පටන් ගත්තා.
පුංචි කාලෙ ඉඳලා නළුවෙක් වෙන හීනයනේ හිතේ තිබුණේ. අද වෙනකොට ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ලොකු සතුටක් තියෙන්නේ. ඒ වගේම නිහතමානී ආඩම්බරයකුත් තිබෙනවා. පුංචි කාලෙ ඉඳලා හීන මැව්වේ නළුවෙක් වෙන්න. ඒ කාලෙ ඉඳලම මම සමාජශීලී කොල්ලෙක්. මගේ අම්මගේ සහ තාත්තාගේ සිහිනය වුණෙත් මම නළුවෙක් වෙනවාට. මම ජොබ් කරන කාලෙ ඉඳලා වගේම මම මේ වෘත්තිය තෝරා ගන්නකොට අපේ අම්මටයි තාත්තටයි පුංචි බයක් තිබුණා මේක හරි යයි ද කියලා. අනික නළුවෙක් වෙනවා කියන්නේ ලේසි නැහැනේ. මම මේ වෙනුවෙන් ගොඩාක් කැප කිරීම් සිදු කළා. මහේන්ද්‍ර පෙරේරා සර්, අනෝජා වීරසිංහ මහත්මියගේ පන්තිවලට ගියා. නළුවා කියන සබ්ජෙක්ට් එක හොයාගෙන ගියා.
ඒ කාලේ රස්සාවල් ගණනාවක් කළා නේද?
අපොයි ඔව්. මම යුද්ධ හමුදාවට ගියා. මාර්කටින් ජොබ් කළා. එක එක දේවල් කළා.
පාරේ බඩු විකුණපු අත්දැකීම් පවා තියෙනවා. එහෙමනේ?
ඔව්. ඔව්. මම තාත්තාගේ ත්‍රීවීලර් එක අරගෙන රෑට දුවලා තියෙනවා.
ඔය කාලේ මෙන්න මේ වගේ නළුවෙක් වෙනවා කියලා හීන තිබුණාද?
මට නළුවෙක් වෙන්න ඕනෑ කියලා මුලින්ම ඉන්ස්පයර් වුණ පුද්ගලයෙක් තමයි රොෂාන් රවීන්ද්‍ර. ඔහුගේ රස්තියාදුකාරයා ටෙලිනාට්‍ය බැලුවට පස්සේ රංගනයට මට ආස හිතුණා. එතකොට මම ඇක්ටින් කියන එක දන්නේම නැහැ. ඒ චරිතය මට ගොඩාක් වැදුණු හින්දා ඒ වගේ නළුවෙක් වෙන්න ඕනෑ කියලා සිහිනයක් තිබ්බා.
අම්මා තාත්තා බැන්නේ නැතිද “මේ වැඩේ කරලා හරියන්නේ නැහැ” රස්සාවක් හොයාගනින් කියලා?
මුලදී පොඩ්ඩක් ඇහැව්වා මේක කරලා හරි යයි ද පුතේ කියලා. ඔයා නිකං අනාථ වෙයිද කියලත් ඇහැව්වා. හැබැයි මගේ දැඩි කැපවීම අම්මටයි තාත්තටයි තේරුණා උසස් පෙළ කරලා අවසන් වෙලා මේ වෙනකම් මම මගේ රංගන හීනයට තමයි බඩු එකතු කරගත්තේ. ඒ කාලේ මට මගේ අම්මටයි තාත්තටයි කීයක්වත් අතට දෙන්න හැකියාවක් තිබ්බේ නැහැ.
ඔබේ අඩුපාඩු හදාගන්න මොනවද කළේ?
අම්මාගෙන් සල්ලි ඉල්ල ගත්තා. ඔය අතරේ අපේ යාළුවන්ගේ පොඩි පොඩි ස්වයං රැකියා කළා. මාර්කටින් ජොබ් කළා. ඊට පස්සේ මම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ගියා, රගර් ක්‍රීඩකයෙක් විදිහට.
පාසල් කාලයේ දක්ෂ රගර් ක්‍රීඩකයෙක් කියලත් ආරංචියි?
ඔව්… ඔව්.. රගර් ක්‍රීඩා කළා. ක්‍රිකට් ක්‍රීඩා කළා. වොලිබෝල් ගැහැව්වා.
ක්‍රිකටර් කෙනෙක් වෙන හීනය තිබුණේ නැතිද?
ක්‍රිකටර් කෙනෙක් වෙන හීනය තිබුණා. හැබැයි අපිට තිබුණ ආර්ථික පසුබිමත් එක්ක මට තේරුණා ක්‍රිකට්වලින් ගමන යන්න සල්ලි වගේම දැන හැඳුනුම්කම් තියෙන්න ඕනෑ කියලා.
රගර් ක්‍රීඩාවට සමුදුන්නේ කොයිවගේ කාලෙද?
යුද හමුදාවෙන් ඉවත් වුණාට පස්සේ මම රගර් ක්‍රීඩාවටත් සමුදුන්නා. ඊට පසුව රගර් බෝලයක්වත් අතින් ඇල්ලුවේ නැහැ. මම ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ වුණේ 2014 වසරේදී. එතකොට යුද්ධය එහෙම අවසන් වෙලා තිබුණේ.
චතුරව වැඩිපුර කතාබහට ලක්වෙන්නේ ක්‍දකදපඉද නාට්‍යයෙන් නේද?
කළම්බු නාට්‍යයටත් මම හරි ආසයි. මරදාන, මාලිගාවත්ත වපසරිය ඇතුළේ තමයි මම හැදුණෙ වැඩුණේ. එතකොට ඒ මිනිසුන්ගේ චර්යා රටාවන් මම දැකලා තියෙනවා. මම ළඟින් ආශ්‍රය කරලා තියෙනවා. ඒක නිසා ඒ නාට්‍යයේ මගේ චරිතය අල්ලාගන්න පුළුවන් වුණා. ඔය නාට්‍යයේ මුලින්ම මම ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් අසමත් වුණා. එතකොට ඕක ආපහු රූගත කිරීම් ආරම්භ කළේ අවුරුදු දෙකකට වගේ පස්සේ. ඒ වෙනකොට මම දෙරණේ රාවණ නාට්‍යයෙන් ඇවිත් හිටියේ. ඊට පසුව යළිත් මට නිෂ්පාදන අංශයෙන් ආරාධනාවක් ලැබුණා.
ආපසු ඔබේ සහ තරින්දිගේ රංගනය සම්බන්ධයෙන් ප්ලීස් ෂෙයාර් දිස් නාට්‍යයේ ලොකු කතාබහක් ඇති වෙනවා?
ඇත්තටම හොඳයි. මට ආසාව තිබුණේ චරිතාංග නළුවෙක් වෙන්න. මහේන්ද්‍ර පෙරේරා ගාවට ආවට පස්සේ ඒක තව තව වැඩිවුණා. ප්ලීස් ෂෙයාර් දිස් නාට්‍යයට ආරාධනා කළහම මම ගොඩාක් සතුටු වුණා. මොකද මට රඟපාන්න තිබුණේ තරින්දි සමග. ඒ කාලේ මමයි තරින්දියි හොඳ යාළුවෝ. අපි දෙන්න මහේන්ද්‍ර පෙරේරා සර්ගේ ක්ලාස් එකේ එකට ඉගෙන ගන්නවා. ඒක අපි හොඳට කතාබහ කරලා කරපු වැඩක්. ඕකේ තිබුණ ලිප් කිස් එකේ අභියෝගය පවා අපි භාරගත්තා.
ඒක අතිශය කතාබහට ලක්වෙන දර්ශනයක් බවට පත් වුණා?
ඇත්තටම ඒක පත්තු වුණා. ඒක අපි හිතුවේ නැහැ එච්චර වැඩ කරයි කියලා. හැබැයි ඒක අපි වන්ටේක් ප්ලෑන් කරලා කරපු වැඩක්.
තරින්දි මුලදී ඒ දර්ශනය රූගත කරන්න කැමැති වුණාද?
ඇත්තටම අපි දෙන්නා මුලදීම පිටපත කියවලා එකඟ වෙලයි ආවේ. කිසිම කෙනෙක් එතැන යූස් වුණේ නැහැ.
ඒ දර්ශනය ආපසු රූපවාහිනියෙන් නරඹද්දී මොකද හිතුණේ?
දැන් නම් ලැජ්ජා හිතෙනවා. අපි ද රඟපෑවේ කියලත් හිතුණා.
දැන් ඔබේ ජීවිතයේ හොඳම මිතුරා, මිතුරිය වෙලා ඉන්නෙත් තරින්දි. ඇගේ රංගනයන් ගැන මොකද හිතෙන්නේ?
තරින්දි කියන්නේ තීව්‍ර රංගනයක නිරත වෙන්න පුළුවන් ඕනෑම පරාසයක ගමන් කරන්න පුළුවන් රංගන ශිල්පිනියක්. ඇයට ලංකාවෙන් එළියට යන්න පුළුවන් ඇක්ටින් කැපෑසිටියක් තියෙනවා. එයාට ලොකු ගමනක් දුරක් යන්න පුළුවන්.
නළුවෙක් වෙන්න කාපු කට්ට අපරාධයක් කියලා හිතෙන අවස්ථාත් තියෙනවාද?
ඒ කට්ට නිසයි මම අද මෙතැන ඉන්නේ. කට්ටකෑවේ නැතිනම් අද මට මෙතැන ඉන්න බැහැ. මාව වෙන තැනකින් මෙතැනට උස්සලා තිබ්බා නම් මම හිතන්නේ නැහැ ඔය පැවැත්ම මට තියේවි කියලා. මට මේ දැනෙන ආශාව, අහිංසක සතුට දැන් දැනේවි කියලා හිතන්නේ නැහැ. මෙතැනට එන්න මම කොච්චර කට්ටක් කෑවද?
මේක දාලා ගිය අවස්ථාත් තිබුණා කියන්නේ ඇත්තද?
ඇත්ත. හැරිලා ගිය වාර තිබුණා. මේක කරන අතරේ කාගෙන් හරි බැණුම් ඇහැව්වහම හිත් රිදිලා දාලා ගියපු අවස්ථාත් තියෙනවා. දාලා ගිහිල්ලා දවසක් දෙකක් යනකොට නින්ද යන්නේ නැහැ. මම අතරමං වුණ අවස්ථා ගොඩයි. හැබැයි ඒ හැම තැනකදීම පුළුවන් තරම් මම මාව විශ්වාස කළා. කොච්චර අතෑරියත් මට නළුවෙක් වෙන්න පුළුවන් කියන තැන මම හිටියා. ඒක අල්ලාගෙන හිටියා. අන්තිමේ ඒකම තමයි වැඩ කළේ.
තරින්දි අද වෙනකොට ඔබේ රංගනයන් ගැන මොනවද කියන්නේ?
සතුටක් තියෙනවා. තරින්දි හැම වෙලාවෙම කියන්නේ දැන් චතුර ඔයාගේ කාලේ කියලයි. එයාටත් ඕනෑ අපි දෙන්නව සම තත්ත්වයකට අරගෙන එන්න. මොකද එයා මට වඩා රංගනයෙන් ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ. ඇයට ලැබෙන පැසසුම් සහ සම්මානවලින් ඒක පැහැදිලියි. එයත් කියන්නේ දැන් තමයි කොල්ලගේ කාලෙ කියලා.
කාලය හරියට කළමනාකරණය කර නොගත්තොත් ආපසු පරණ තැනට යන්න වෙනවා. එහෙම නොවන්න ඔබ මොනවද කරන්නේ?
ඇත්තටම දැන් නිර්මාණවලට ආරාධනා ලැබෙන කොට මමයි තරින්දියි කතාබහක නිරත වෙනවා. මොකද ඇය මගේ හොඳම මිතුරිය -පෙම්වතිය. වැඩක් අපි භාරගන්න කොට කතාබහ කරනවා අපිට වැඩක් සඳහා ආරාධනාවක් ලැබෙන කොට වෙනදාට වැඩිය කතාබහ කරනවා. ඉස්සරහට මොකක්ද කරන්නේ කියන එක ගැන දෙපාරක් හිතනවා. අපි ඒක හරි පරිස්සම් කරන්න ඕනෑ කියන එක දැන් දැන් වැටහෙනවා. ආවට පස්සේ එතැනින් එහාට කරන දේ ගැන හරි සවිඥානිකව ඉන්න ඕනෑ. මෙතැනින් එහාටයි ගමනක් තියෙන්නේ. මම මෙච්චර කට්ටක්කෑවේ වැටෙන්න නෙමෙයි. මම හරි පරිස්සමින් මේ ගමන යනවා කියන තැන තරයේ විශ්වාසයේ ඉන්නවා.
ඔබේ හොඳම මිතුරිය – මිතුරා වගේම ගුරුවරිය වුණු ඇය, නැතිනම් තරින්දි එක්ක දෙන්නා එක වහලක් යටට යන්නේ කවදාද?
එක වහලක් යටට එන්න අපි දෙන්නටම වුවමනාවක් තියෙනවා. අපි දෙන්නම පොහොසත් පවුල්වල දෙන්නෙක් නෙමෙයි. තරින්දිත් මීගමුවේ ඉපදුණු සෑහෙන දුප්පත් පවුලක හැදීවැඩුණු කට්ටක්කාපු කෙල්ලෙක්. අපි දෙන්නට තනි තනිවම හදාගන්න දේවල් ටිකක් තියෙනවා කියන එක අපි දෙන්නා අඳුරගෙන තියෙනවා. අපි දෙන්න ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න ඕනෑ. අපි දෙන්නාගේ ගමන හදාගත්තාට පස්සේ අපි දෙන්නා එක වහලක් යටට ඒවි.
දිනේෂ් විතාන

