දේශීය පුවත්

තාත්තාගෙන් පුතාට එන අම්බුළුවාව අරමුදල රජයට පවරාගැනීමට සාකච්ඡා….

අම්බුළුවාව භාර අරමුදල රජයට පවරා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කිරීම පිණිස බුද්ධශාසන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සාකච්ඡා ආරම්භ කර ඇත. මෙම භාර අරමුදලේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මතුව ඇති විවිධ ගැටලු හේතුවෙන් මෙම පියවර ගැනීමට රජය යොමු වී තිබේ.

 

මෙම භාර අරමුදල පාලනය වන්නේ 2009 අංක 44 දරන අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල පනත යටතේය. මහා භාරකාරවරයා විසින් භාරකාර ඔප්පුවක් මගින් අදාළ භූමිය අරමුදලට පවරා ඇති අතර, එම ඔප්පුවේ සඳහන් කොන්දේසි භාර අරමුදල විසින් උල්ලංඝනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. එම පනතේ 19 වැනි වගන්තියට අනුව අම්බුළුවාවේ නිර්මාතෘවරයා ගරු දිසානායක මුදියන්සේලාගේ ජයරත්න මහතා විය යුතු අතර, 16 වැනි වගන්තියෙන් දක්වා ඇත්තේ නිර්මාතෘවරයා මියගිය විට ඔහුගේ පුත්‍රයා එම ධුරයට පත්විය යුතු බවත්, ඉන් පසුව පරම්පරාවෙන් පැවත එන වැඩිමහලු පිරිමි තැනැත්තකු අනුප්‍රාප්තිකයා විය යුතු බවත්ය.

 

නිර්මාතෘවරයා විසින් පත් කරන ලද සාමාජිකයන් සත් දෙනකුගෙන් සමන්විත මෙම භාර අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පසුගිය කාලය පුරා දැඩි විවේචනයක් එල්ල විය. එහි පාලනය සිදුවන ආකාරය, ඉඩම් ලබා දී ඇති ක්‍රමය මෙන්ම අම්බුළුවාවේ සංවර්ධන කටයුතු සඳහා රජයේ මුදල් යොදවා ඇති ආකාරයද බරපතළ ගැටලුවක් බවට අනාවරණය වී තිබේ. විශේෂයෙන් රුපියල් මිලියන 600කට අධික රජයේ මුදල් ප්‍රමාණයක් මේ සඳහා වැය කර ඇති අතර, ඊට අදාළව සිදුකළ විගණන වාර්තා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොතිබීම ද ගැටලුකාරී තත්ත්වයකි.

කෙසේ වෙතත්, බුද්ධශාසන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන්, මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතු ආකාරය පිළිබඳව මේ වන විටත් සාකච්ඡා පවත්වමින් සිටිති. එම සාකච්ඡාවල ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ සංචාරක කර්මාන්තයට කිසිදු හානියක් සිදු නොවන පරිදි මෙම කටයුතු ක්‍රියාත්මක කිරීම කෙරෙහිය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!