
හොරණ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් දතක් ගලවා ගැනීමෙන් අනතුරුව හටගත් හදිසි අසාත්මිකතා තත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි විසි හැවිරිදි තරුණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් පසුගියදා වාර්තා විය. හොරණ පොකුණුවිට බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණියගේ මරණය සම්බන්ධයෙන් පැවති හදිසි මරණ පරීක්ෂණයේදී ඇයගේ මව විසින් ලබා දුන් සංවේදී සාක්ෂි මගින් මෙම සිදුවීම පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය විය.
දත ගලවන අවස්ථාවේදී නිර්වින්දන ඖෂධය එන්නත් කිරීමත් සමඟ තම දියණියට ක්ලාන්ත ගතියක් ඇති වූ බවත්, එය වෛද්‍යවරයාට දැන්වූ විට එය සාමාන්‍ය තත්වයක් බව පවසා වෛද්‍යවරයා විසින් එය සැහැල්ලුවට ලක් කළ බවත් මියගිය තරුණියගේ මව වන මඩපාතගේ ලක්මාලී ප්‍රියදර්ශනී මහත්මිය සිය සාක්ෂියේදී අවධාරණය කර සිටියාය.
ඒ අනුව ඔවුන් නැවතත් දත ගැලවූ පෞද්ගලික රෝහලටම දියණිය ඇතුළත් කර ඇත. එහිදී වෛද්‍යවරුන් අනුමාන කර ඇත්තේ මෙය යම් ඖෂධයක් ආසාත්මික වීමක් (Allergy) විය හැකි බවයි. ඊට ප්‍රතිකාර ලෙස සේලයින් සහ ඖෂධ ලබා දුන්නද ඇයගේ රුධිර පීඩනය යථා තත්වයට පත් වී නොමැත. එම පෞද්ගලික රෝහල සතුව දැඩි සත්කාර ඒකකයක් නොතිබූ බැවින් රෝගියාගේ තත්වය පාලනය කිරීම අපහසු බව වටහා ගත් රෝහල් බලධාරීන් ඇයව රජයේ රෝහලක් වෙත මාරු කර යවන ලෙස උපදෙස් දී තිබේ. ඒ අනුව ගිලන් රථයක් මාර්ගයෙන් ඇයව හොරණ දිසා මහ රෝහල වෙත ඇතුළත් කිරීමට දෙමාපියන් කටයුතු කර ඇත.
හොරණ රෝහලේදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරුන් විසින් පස්වන වාට්ටුවට ඇතුළත් කර සේලයින් සහ ඔක්සිජන් ලබා දී ප්‍රතිකාර ආරම්භ කර ඇත. එහෙත් රෝගී තත්වය ක්‍රමයෙන් උත්සන්න වූ අතර ඇය දැඩි නොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට වූ බව මව සාක්ෂි දෙමින් පැවසුවාය. සිදු කළ රුධිර පරීක්ෂණවලින් අනතුරුව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ ඇයගේ වකුගඩු අකර්මණ්‍ය වී ඇති බවයි. තත්වය බරපතල බැවින් ඇයව දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යැවීමට කටයුතු කෙරුණි. මේ අතර ඇයට නියුමෝනියා තත්වය සහ ශරීරයට දරුණු විෂබීජයක් ඇතුළු වී ඇති බවටද වෛද්‍යවරුන් සැක පළ කර තිබුණි.
දිනෙන් දින තරුණියගේ සෞඛ්‍ය තත්වය පිරිහී ගිය අතර වකුගඩු සහ හෘදය වස්තුව ආශ්‍රිතව බරපතල සංකූලතා මතුවී තිබුණි. කිහිප වරක්ම රුධිර පාරවිලයනය (Blood Transfusion) සිදු කිරීමටද වෛද්‍යවරුන්ට සිදුවිය. මී උණ රෝගය වැළඳී ඇත්දැයි බැලීමට පරීක්ෂණ සිදු කළද එහි ප්‍රතිඵල නෙගටිව් වී තිබුණි. වැඩිදුර පරීක්ෂණ සඳහා සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය වුවද, හොරණ රෝහලේ අදාළ යන්ත්‍රය ක්‍රියාවිරහිත වී තිබීම හේතුවෙන් ඇයව නාගොඩ රෝහල වෙත යැවීමට සිදුවිය. එම පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ඇයගේ මොළයේ වතුර පිරී ඇති බවයි. ඒ සඳහා ශල්‍යකර්මයක් සිදු කිරීමට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවුවද, රෝගියාගේ අසාධ්‍ය තත්වය හේතුවෙන් ශල්‍යකර්මයක් සිදු කළ නොහැකි බව පවසා ඇයව නැවත හොරණ රෝහලට එවා තිබුණි.
දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ මෙම තරුණිය අවසානයේ දෙසැම්බර් මස 28 වන දින රාත්‍රී 8.30 ට පමණ මෙලොව හැර ගියාය. ඇයගේ මරණය පිළිබඳ පුවත රෝහල විසින් දුරකථනය ඔස්සේ දෙමාපියන්ට දැනුම් දී තිබුණි. මෙම හදිසි මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණය හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ පැවති අතර එහිදී මවට අමතරව පියා වන චන්දන කුමාර ජයසිරි මහතාද සාක්ෂි ලබා දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය සඳකැන් වඩුගේ මහතා මරණයට නිශ්චිත හේතුවක් ප්‍රකාශ නොකළ අතර සිරුරේ කොටස් වැඩිදුර රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම සඳහා යොමු කිරීමට පියවර ගත්තේය. ඒ අනුව හදිසි මරණ පරීක්ෂකවරයා විසින් මෙය විවෘත තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. සාමාන්‍ය දන්ත ප්‍රතිකාරයක් සඳහා ගිය නිරෝගී තරුණියක් දින කිහිපයක් ඇතුළත අවාසනාවන්ත ලෙස මරණයට පත්වීම ප්‍රදේශවාසීන් අතර දැඩි කම්පනයක් ඇති කර තිබේ.





