දේශීය පුවත්

“දුව නැති දුක මගේ හිතින් කවදාවත් අමතක වෙන එකක් නෑ… මගේ දුවගෙ මූණ මැවි මැවී පේනවා…” සංජීවනීගේ වියෝව ඔවුන්ට දරාගන්න බැරි දුකක්..

අම්මලා, තාත්තලා දරුවෝ ගැන හීන මවන්නේ මහ මෙරක් තරම්.. ඔවුන් දෙදෙනාත් එහෙම වෙන්න ඇති..

මියගිය දියණියගේ මතකය එක්ක තවමත් ජීවිත් වෙන ඔවුන් සංජීවනීගේ වියෝව ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..

“වෙසක් එකට දුව ගෙදර ආවා. දුව අපි හැමෝම එක්ක සතුටින් කාලය ගත කළා. වෙසක් දවසෙ දුවත් එක්ක අපි හැමෝම පන්සල් ගියා. වෙසක් ඉවර වුණායින් පස්සෙ දුවම කිව්වා නිවාඩු ඉවර හින්දා පීඨය පටන් ගන්නවා. ඒ හින්දා ඉක්මනින්ම පීඨයට යන්ට ඕනැ කියලා. පුරුදු විදිහට දූව ගෙදරින් යන වෙලාවෙ මට දණ ගහල වැන්දා. මගේ මහත්තයාටත් දණ ගහල වැන්දා. “අම්මෙ, අප්පච්චි ආයෙ නිවාඩුවක් හම්බ වෙච්ච ගමන්ම මම ගෙදර එනව.” දුව එදා ඒ විදිහටත් අපිට කිව්ව. ඒත් අපි හිතපු නැති දෙයක් වුණේ. දුව මිය ගිහිල්ල කියල අපිට පණිවුඩයක් ලැබුණ. ඒ පණිවිඩය ලැබුණ ගමන් අපිට මොනවත් හිතා ගන්ට බැරි වුණා. අපිට විශාල වේදනාවක් දැණුනා.”

වයඹ අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි පීඨයේ නේවාසිකාගාරයේදී සියතින් ගෙල වැලලාගෙන මිය ගොස් සිටි 23 හැවිරිදි ආර්. යූ.ජී. සංජීවනී කුමාරි සිසුවියගේ මව වන 53 හැවිරිදි ඇස්.ජී. මාලනි මල්ලිකා මහත්මිය එසේ පැවසුවේ හඬා වැලපෙමින්.

ඔවුන් පදිංචිව සිටින්නේ තෙල්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ පුටුහපුව, වැලි කැටියේ දෙල් ගස්තැන්නේ පදිංචිකරුවන් වුණා.. සංජීවනී සිසුවියගේ මව මෙසේද පැවසුවා..

“දුව අපිට කියලා තියෙනවා පීඨයේ අධ්‍යාපන කටයුතු ඉවර වුණාට පස්සේ ගුරුවරියක් වෙලා ඉස්කෝලවල ළමයිට ඉතාමත් ආදරෙන් උගන්වනවා කියලා, දුව දරුවන්ට ගොඩක් ආදරෙයි. අපිත් ගොඩක් හිතේ සතුටින් හිටියා දුව ගුරුවරියක් වෙන හින්දා, ඒත් අපි හිතපු දෙයක් නෙවෙයි වුණේ. දුව නැති දුක මගේ හිතින් කවදාවත් අමතක වෙන එකක් නෑ. මගේ දුවගෙ මූණ මැවි මැවී පේනවා.

මිය ගිය සංජීවනී පීඨ සිසුවියගේ පියා වන 59 හැවිරිදි ආර්.යූ.ජී. වසන්ත කුමාර පැවසුවේ මෙවන් අදහසක්..

“අපි දන්න තරමින් දුවට ගෙදර කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. පීඨයේ ඉගෙන ගන්න විට ඉගෙන ගන්නා අවස්ථාවලදී යම් යම් පීඩාකාරී අවස්ථාවන්ට මුහුණ දෙන්නට සිදු වූ බව දුව කියල තියෙනවා. දුව තමන්ගේ පාඩුවෙ ඉගෙන ගන්න කෙනෙක්. ඉස්කෝලෙදි ගුරුවරයෙක් හෝ ගුරුවරියක් ඉගෙන ගන්න අවස්ථාවක තදින් දොස් කිව්වොත් ඒක දුවට දරා ගන්ට අමාරුයි. අපිට හිතෙනවා ඉගෙන ගන්න අවස්ථාවලදී යම් පීඩනයක් ඇති වෙලා ඒක දරා ගන්ට බැරුව මේ වගේ දෙයක් කර ගන්ට ඇති කියලා. අපි ගොඩක් දුක් මහන්සි වෙලා දරුවන්ට ඉගැන්නුවේ. දුවගෙ අක්කා තක්සේරු දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරනවා. නංගී තෙල්දෙණිය ජාතික පාසලේ උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නවා.”

ගුරුවරයෙක් මෙන්ම තෙල්දෙණිය කලාපයේ පාසල්වල ගුරු උපදේශකවරයෙක් ලෙස සේවය කරන පියල් වීරසේකර ඇගේ නික්මයාමෙන් පසු ඇය ගැන පැවසුවේ මෙවන් අදහසක්..

“සිසුවිය උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තේ දුන්හින්න ඉස්කෝලෙ. තමන්ගෙ පාඩුවෙ ඉගෙන ගන්න සිසුවියක් ඇය. ඒ බව පාසලේ ගුරුවර ගුරුවරියෝ තේරුම් අරන් තිබුණා. ආදරෙන් කරුණාවෙන් ඉගැන්වූ නිසා උසස් පෙළ විභාගය ඉහළින් සමත් වෙලා අධ්‍යාපන පීඨයට ගියා ගුරුවරියක් වීමේ බලාපොරොත්තුවෙන්. පිඨයේ ගුරුවර ගුරුවරියෝ මේ සිසුවියට ආදරෙන් කරුණාවෙන් ඉගැන්නුවාද යන එක ලොකු ප්‍රශ්නයක්. ගුරුවරු සෑම විටම ළමයා අවබෝධ කර ගත යුතුයි. ඉදිරියේදී පීඨ තුළදී මෙවැනි දේවල් සිදු නොවීමට වග බලා ගත යුතුයි.

දැන් ඇය ගැන ඇසෙන කතා මොන වගේ වුණත්, පසුගිය 26 වැනිදා සවස පවුලේ සුසාන භුමියේදී ඇය සියල්ලන් හඬවමින් සදහටම නිහඬ වුණා..
ලංකාදීප පුවත්පත ඇසුරෙන්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!