දේශීය පුවත්

පයාගලදී දුම්රිය මගට දැමූ කැබ් එක හැපී මියගිය ව්‍යාපෘති නිලධාරී තරුණයින් දෙන්නා..

පයාගල ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ධාවනය කිරීමට උත්සාහ කළ කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ ඛේදවාචකයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය 22 වැනිදා පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් මියගොස් ඇත්තේ දියලගොඩ පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතියට අනුයුක්තව සේවය කළ නිලධාරීන් දෙදෙනෙකි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අදාළ සමාගමේ ව්‍යාපෘති පරිපාලන නිලධාරියෙකු වූ රඹුක්කන, බෝලගම, ඇල්ලේදෙනියවත්තේ පදිංචි 22 හැවිරිදි රණසිංහ ආරච්චිලාගේ පසිඳු සුපුන් රණසිංහ සහ රසායනාගාර තාක්ෂණ නිලධාරියෙකු වූ 28 හැවිරිදි කරුණාරත්න මුදියන්සේලාගේ විහංග රුක්ෂාන් බණ්ඩාර කරුණාරත්න යන අයයි. අනතුර සිදු වන අවස්ථාවේ කැබ් රථය පදවා ඇති බුලත්සිංහල, පරගොඩ පදිංචි 39 හැවිරිදි දැදිගමුවගේ කුෂාන් ප්‍රදීප් නමැති රියදුරු බරපතළ තුවාල ලබා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

මෙම මරණ සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක කේ.ඩී. විරාත් භාරත මහතා ඉදිරියේ 23 වැනිදා පෙරවරුවේ සිදු කෙරිණි. එහිදී සාක්ෂි ලබා දුන් බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ අංක 57 දරණ ගාලු කුමාරි දුම්රියේ රියදුරු වන බේරුවල, බංගලාවත්තේ පදිංචි 52 හැවිරිදි කොස්වත්ත ආරච්චිගේ දොන් මහේන්දු මානවසාර මහතා ප්‍රකාශ කළේ, වසර 26ක සේවා පළපුරුද්දක් ඇති තමාට අදාළ රතු පැහැති කැබ් රථය ගාලු පාරේ දුම්රිය මාර්ගයට සමාන්තරව ගමන් කර එක්වරම අනාරක්ෂිත හරස් මාර්ගයට දැමීමට උත්සාහ කරන බවක් වැටහුණු බවයි. ඒ සමඟම තමන් දුම්රියේ නළාව නාද කර හදිසි තිරිංග ක්‍රියාත්මක කළද, කැබ් රථය දුම්රියේ ගැටී අඩි 420ක පමණ දුරක් ඇදී ගිය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එදින උදෑසන 8.41ට පමණ පැයට කිලෝමීටර් 45ක පමණ වේගයෙන් දුම්රිය ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත.

අනතුර සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂියක් ලබා දුන් මෝල්කාව, පුස්සමුල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුස්සමුල්ලගේ මහේෂ් පෙරේරා නමැති ස්කැවේටර් යන්ත්‍ර ක්‍රියාකරු ප්‍රකාශ කළේ, අදාළ වාහන ගාල් කර තබන ස්ථානයට යාම සඳහා කැබ් රථයේ රියදුරු තමාටද එයට ගොඩවන ලෙස පැවසූ බවයි. කෙසේ වෙතත් තමන් එය ප්‍රතික්ෂේප කර පයින් ගමන් කළ බවත්, කැබ් රථය හරස් මාර්ගයට ඇතුළු වීමත් සමඟම විශාල ශබ්දයක් ඇසුණු බවත් ඔහු පැවසීය. අනතුරුව ප්‍රදේශවාසීන් සමඟ එක්ව වාහනයේ දොරවල් කඩා සිරවී සිටි තිදෙනා පිටතට ගෙන රෝහල්ගත කිරීමට පියවර ගත් බවද ඔහු සාක්ෂි දෙමින් සඳහන් කළේය.

මියගිය තරුණයන් දෙදෙනාගේ පියවරුන් වන 59 හැවිරිදි කරුණාරත්න මුදියන්සේලාගේ සුනිල් කරුණාරත්න සහ 48 හැවිරිදි රණසිංහ ආරච්චිලාගේ නිමල් ශාන්ත රණසිංහ යන අයද මෙහිදී සාක්ෂි ලබා දී තිබේ. කළුතර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ.එම්.ටී.බී. ගුණතිලක මහතා විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සහ ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා, දුම්රියේ ගැටීමෙන් ඇති වූ මොට බලය හේතුවෙන් හිසට, උරස් සහ උදර ප්‍රදේශවලට සිදුවූ බරපතළ තුවාල මෙම මරණවලට හේතුව බව නිගමනය කළේය. පයාගල පොලිසියේ සැරයන් (55228) ජී.ඩී.එච්.එච්. ජයසේකර මහතා විසින් මරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවන ලදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!