පවුල් ආරවුලක් දුරදිග ගොස් නිවසකට තැබූ ගින්නෙන් පියා සහ දියණිය ජීවිතයෙන් සමුගනී.. මව ඇතුළු සිව්දෙනෙකු රෝහලේ..

ඔහු මේ වගේ දෙයක් තමන්ගේ දරු පවුලට කරන්න ඇත්තේ මොන වගේ හේතුවක් නිසාද..?
කොහොම වුණත් ඒ ගැන දන්නේ අබිරහසක් ඉතුරු කරමින් නික්මගිය ඔහු පමණයි.
අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්රදේශයේ නිවසකට පවුල් ආරවුලක් මත පියා විසින් සිදුකළ ගිනි තැබීමකින් පියා සහ දියණිය මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.
එසේම මෙහිදී ගිනි ගැනීමට ලක්වූ මව සහ තවත් දරුවන් තුන්දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය සඳහන් කළේ මියගිය පියාගේ වයස අවුරුදු 43ක් වන අතර, දියණිය 13 හැවිරිදි වියේ පසුවන බවයි.
එමෙන්ම 36 හැවිරිදි වියේ පසුවූ මව, 15 හැවිරිදි වැඩිමහල් දියණිය සහ 20 හැවිරිදි පුත්රයා මෙන්ම 66 හැවිරිදි වියේ පසුවූ මිත්තණිය ද බරපතල තුවාල ලබා තිබෙනවා.
ඔවුන් අතර පවුල් ආරවුල් පවතින බවට ද මීට පෙර පොලිසියට පැමිණිලි ලැබී තිබුණා.
මියගිය සැමියා නිතර මත්පැන් පානය කර බිරිඳට පහරදීම සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම පොලිසියට පැමිණිලි ලැබී ඇති බව සඳහන්.
මෙම ආරවුල් හේතුවෙන් බිරිඳ සිය දරුවන් තිදෙනා ද සමග නුවරගම් කොළනිය, පඬිකාරමඩුව ප්රදේශයේ පිහිටි ඇයගේ මවගේ නිවසේ පදිංචිව සිට තිබෙනවා.
අද අලුයම 2.00ට පමණ එම නිවසට ඇතුළු වූ සැමියා, නිවසේ සිටි පිරිසට පෙට්රල් දමා ගිනි තබා ඇති බවටයි වාර්තා වෙන්නේ.
ගින්න ඇවිළෙන අවස්ථාවේ නිවස තුළ බිරිඳ, ඇයගේ මව සහ දියණියන් දෙදෙනා සිට ඇති අතර පුත්රයා නිවසින් බැහැරව සිට තිබෙනවා.
සිද්ධිය සැලවීමත් සමග වහා එම ස්ථානයට පැමිණි පුතු, ගිනි ගන්නා නිවස තුළ සිටි සිය මව සහ සහෝදරියන් බේරාගැනීමට දැඩි උත්සාහයක නිරත වී ඇති අතර එහිදී ඔහු ද පිළිස්සුම් තුවාල ලබා තිබුණා.
මේ වන විට බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ බිරිඳ, ඇයගේ මව, වැඩිමහල් දියණිය සහ පුත්රයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණය අද දින පැවැත්වීමට නියමිතයි.
ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.



