දේශීය පුවත්

සුනාමි ව්‍යසනයට වසර 21යි….

2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා සිදුවූ සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 21ක් සම්පූර්ණ වෙයි.

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව සිදුවූ ප්‍රබල භූ කම්පනයත් සමග ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දරුණු සුනාමි තත්ත්වයක් ඇති වුණි.

එම ව්‍යසන තත්වයෙන් මෙරට පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මියගොස් තවත් 5,000ක පමණ පිරිසක් අතුරුදන්වූ අතර දේපොළ රැසක් ද විනාශයට පත් විය.

සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම සඳහා 2005 වසරේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වනදා ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කෙරුණි.

ඒ අනුව සුනාමි ව්‍යසනයෙන් මෙන්ම මේ දක්වා රටේ සිදුවූ විවිධ ව්‍යසනයන් හේතුවෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් මෙවරද “ජාතික සුරක්ෂිත දින” සැමරුම් උත්සවය අද (26) පෙරවරු 8:30 සිට පෙරවරු 11:00 දක්වා ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්ය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර ඇති බවයි.

මෙම ආපදාවෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් අද පෙරවරු 9:25 සිට පෙරවරු 9:27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම පැරෑලිය ප්‍රදේශයේදී සුනාමි ජල කඳට හසුවී විනාශයට පත්වූ දුම්රිය අනතුර සිහිපත් කිරීම සඳහා මරදාන දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 6:30ට මාතර බලා දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!