සුව අරණ

ඔබ නිකමට වත් දැනගෙන හිටියාද..? මෙන්න මෙහෙමත් පෙණහලු පි.ළි.කා වැළඳෙන්න පුළුවන්..

බොහෝමයක් බෝ නොවන රෝග වැළදෙන්නේ එක්කෝ අපි නොදන්නා යම් යම් පුරුදු නිසා කියලා කියන්න පුළුවන්.. 

 

මේ අන්න ඒ වගේ තවත් එක කාරණයක්. මෙන්න මේ වගේ හේතු නිසත් පෙණහලු පිළිකා වැළඳීමේ අවදානමක් පවතිනවා.

සාමාන්‍යයෙන් අපි දන්න විදිහට පෙණහලු පිළිකා වැලඳීමට මූලිකම හේතුව දුම් පානය කිරීමනේ. ඒත් දුම් පානය නොකරන කාන්තාවන් පවා සීඝ්‍රයෙන් පෙණහලු පිළිකාවලට ගොදුරු වීමේ දැඩි අවදානමක් ඇතිවෙලා තියෙනවා කියලා පහුගිය දිනවල කියැවුණා. මොකක්ද ඒකට හේතුව?

දුම් නොබොන එහෙත් ගැඹුරු එළවළු තෙලේ ආහාර බදින විට ඒ තෙල් රත්වීමෙන් නැගෙන නිල් පැහැයට හුරු දුම් ආග්‍රහණය වීමෙන් පෙණහලු පිළිකාවලට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා කියලා ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනයේ (IARC) සහභාගිත්වයෙන් මෑතක චීනයේදී කරන ලද පර්යේෂණයකින් තහවුරු වුණා. අපේ බොහෝ නිවෙස්වල මුළුතැන්ගෙයි ආහාර පිසින්නේ වැඩි වශයෙන්ම කාන්තාවන්නේ. ඒ කාන්තාවන් අතර පෙණහලු පිළිකා ඇතිවීමට අධික උෂ්ණත්වයකින් යුතුව රත්කරන තෙල් මගින් පිටවන දුම් හේතුවක් වී ඇති බව ඒ පර්යේෂණයෙන් පෙන්වා දීලා තියෙනවා. මේ අවදානමට වසර ගණනාවක් පුරා මුළුතැන්ගෙයි ආහාර පිසින වගේම අධික උෂ්ණත්වයක් තුළ තෙල් රත්කරමින් ආහාර පිළියෙළ කරන අපේ කාන්තාවන්, ආපනශාලාවල සහ හෝටල්වල සේවය කරන අරක්කැමියන් ආදී පිරිස්වලට පෙනණහලු පිළිකා වැලඳීමේ තර්ජනය ඇති බව ඒ අනුව පෙනී යනවා.

එළවළු තෙල් නිසා විශාල හානියක් වෙනවා කියලා ඔබ ඔය කියන පර්යේෂණයෙන් හොයාගෙන තිබුණත්, මේ තරම් කාලයක් බොහෝ දෙනෙක් විශ්වාස කළේ එළවළු තෙල් ශරීරයට හිතකරයි කියලනේ?

මෙතැනදී එළවළු තෙල් යන්නට පොල්තෙල්, ඇලිගැටපේර තෙල් හා හා ඔලිව් තෙල් අන්තර්ගත වෙන්නේ නැහැ. ඔලිව් තෙල්, අලිගැට පේර තෙල් රත් කිරීමේදී ආහාර කරවෙන තරමටම එනම් නිල්පැහැති දුමක් පිටවන තෙක් ආහාර බැදගැනීම යෝග්‍ය නැහැ. ඔලිව් තෙල් වුණත් රන්වන් පැහැය වනතුරු බැදගැනීමයි සුදුසුම. පොල් තෙල් ගැන කතා කළොත් අධික උෂ්ණත්වයක් යටතේ පොල්තෙල් කර කළොත් නිල් පැහැති දුමක් පිටවෙනවා. ඒ දුම නැගෙන තෙක් ආහාර බැදගැනීම සුදුසු නැහැ කියලයි කියන්නේ. අපි එළවළු තෙල් කියලා භාවිත කරන කුකින් ඔයිල් අධික උෂ්ණත්වය යටතේ රත් කළ විට විවිධ අහිතකර රසායනික සංඝටක නිපදවෙනවා. කුකින් ඔයිල් සිරුරට අහිතකරයි කියලා කියන්නෙ ඒකයි.

අපි දැනට ආහාර පිස ගැනීම සඳහා භාවිත කරන එහෙත් භාවිතයට නුසුදුසු එළවළු තෙල් වර්ග මොනවද?
කැනෝලා තෙල්, සූරියකාන්ත තෙල්, වෙප්සීටි තෙල්, ෆාම් තෙල් වගේ දේවල් හඳුන්වා දෙන්න පුළුවන්. කුකින් ඔයිල් රත්කිරීමේදී ඇරෝමැටික හයිඩ්‍රොකාබන් (PAHs) සහ විකෘති ද්‍රව්‍ය වන ඇල්ඩිහයිඩ් ඇතුළත්වෙනවා. මෙම සංයෝග නිසා සෛලවලට හානිවෙන්න පුළුවන්. දිගුකාලයක් මෙම විෂ දුමට නිරාවරණය වන පුද්ගලයන්ට පෙණහලු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි බවයි හඳුනාගෙන තියෙන්නේ. අනෙක මෙම විස සංයෝග වාතය සමග පැමිණ සම මතුපිට තැන්පත්ව ක්‍රමයෙන් ශරීර ගතවෙලා ශරීරයට හානි කරන්න වුණත් ඉඩ තියෙනවා.

එළවළු තෙල් රත් කිරීමෙන් පිටවෙන විෂ සහිත සංයෝගවලින් පෙණහලු පිළිකාවලට අමතරව තවත් රෝග ඇතිවීමේ අවදානමක් තියෙනවා නේද?

ඔව්. පියයුරු පිළිකාව, මහා අන්ත්‍ර පිළිකාව, පුරස්ථි ග්‍රන්ථි පිළිකා ආදී රෝගාබාධ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම කුකින් ඔයිල් සහ හෘදයාබාධ අතර පවතින සම්බන්ධතාව පිළිබඳව බොහෝ දෙනෙක් නිරන්තරයෙන්ම කතාබහ කරනවනේ. ඒ එළවළු තෙල්වල දුම පමණක් නොවෙයි තෙල් භාවිතය හේතුවෙනුත් ජනතාව රෝගාතුර වෙනවා. විශේෂයෙන්ම මේ තෙල් අනුභව කිරීම ස්ථූලතාව ඇතිවීමට ප්‍රධාන හේතුවක්. ඒ වගේම ශරීරයේ මේද සංයුතිය වෙනස් කරන්න එළවළු තෙල් භාවිතය ප්‍රධාන හේතුවක් වෙන බවත් සොයාගෙන තියනවා. ඇත්තටම කිව්වොත් එළවළු තෙල් භාවිතය බෝනොවන රෝග රැසකටම හේතුවක් වී තිබෙන බව මේ වන විටත් හඳුනාගෙන තියෙනවා.

කවුරු කොහොම කිව්වත් ජනතාවට එකවරම එළවළුතෙල් භාවිතයෙන් ඈත්වීම අපහසුයි. ඒ හැර ආහාර පිසින පිරිසගේ සෞඛ්‍ය ආරක්‍ෂාව වෙනුවෙන් ගත හැකි කඩිනම් විසඳුමක් නැද්ද?

චීන ආපනශාලාවල, ඉහළ පෙළේ හෝටල්වල අරක්කැමියන් ලෙස රැකියාව කරන අයට සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුමක් හඳුන්වා දිය යුතුයි වගේම ආහාර පිසින විට ඒ ඇඳුම හැඳ සිටීම අනිවාර්ය කළ යුතුයි. එළවළු තෙල්වලින් බැදුම් ආහාර පිළියෙළ කරන අය මුව ආවරණයක් පැලඳීම හා ආරක්ෂිත ඇඳුමක් (ඒප්‍රණ) ඇඳීම ආදී කටයුතු නියාමනය කළ යුතුයි. ආහාර පිළියෙළ කරන ස්ථානයට හොඳින් වාතාශ්‍රය ලැබෙන සේ සකස් කරදීමට වගකිව යුත්තන් ක්‍රියාකළ යුතුයි. ආහාර බදින භාජන දිනපතා හොඳින් පිරිසිදු කළ යුතුයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය මේ සඳහා නිරන්තරයෙන්ම යොමු විය යුතුයි. විශේෂයෙන්ම ආපනශාලා වැනි ස්ථානවල සේවය කරන අරක්කැමියන්ගේ සේවා මුරය ගැනත් අවදානය යොමු කළ යුතුව තියෙනවා. සමහර ස්ථානවල දවසේ පැය 24 පුරාම සේවයේ යොදවලා තියෙන්නෙ එකම අරක්කැමියෙක්. ඔවුන් විවිධ බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ විශාල ජීවිත අවදානමක් තියෙනවා. විශේෂම දේ, ඒ ආහාර පිසින ස්ථානවලට හොඳින් වාතාශ්‍රය ලැබෙනවා නම් හානිකර සංයෝග සියයට පනහක් පමණම අඩුකර ගන්න පුළුවන්.

අද බොහෝ මුළුතැන්ගෙවල් කුඩා කාමරයකට සීමාවෙලා. හොඳින් වාතාශ්‍රය ලැබෙන්නේම නැති තරම්. මෙවැනි මුළුතැන්ගෙයක ඉවුම් පිහුම් කරන කාන්තාවකට දිය හැකි උපදෙස් කුමක්ද?

අතීතයේදී නම් සෑම මුළුතැන් ගෙයකම දුම් පිටවීම සඳහාම විශේෂයෙන් සකස් කළ චිමිනියක් තිබුණා. අනෙක මුළුතැන් ගෙය තිබුණේත් නිවසින් පිටතයි නමුත් අද සීමිත ඉඩකඩක් තුළ එවැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා බැදුම් සාදන විට මුව ආවරණයක් පැලදීම යෝග්‍යයයි. සෑම විටම පොල්තෙල්ම ආහාරයට එකතු කර ගැනීමෙන් බෝනොවන රෝගවලින් බොහෝ විට ආරක්ෂා වෙන්න පුළුවන්.

තවමත් ආහාර පිසීම සඳහා එළවළු තෙල් භාවිත කරන අයට මොන වගේ පණිවුඩයක්ද දෙන්න තියෙන්නේ?

එළවළු තෙල් භාවිත කර ආහාර පිසීම අවම කරන්න. පුළුවන්නම් ඒක නතර කරලම දාන්න. ඒ වගේම එක ආහාරයක් බැදගත් තෙල් නැවැත භාවිත කරලා තවත් ආහාර පිළියෙල කරන්න එපා. හැකි සෑම වෙලාවකම පොල්තෙල්, අලිගැටපේර තෙල් හෝ ඔලිව් තෙල් භාවිත කරන්න.

වරක් භාවිත කළ තෙල් නැවැත භාවිත කරනවා නම් ඒ සඳහා පොල්තෙල් පමණක්ම යොදාගන්න. කිසිසේත්ම ඒ ආකාරයෙන් එළවළු තෙල් භාවිත නොකළ යුතුයි. සුදුසු වන්නේ පොල්තෙල්ම පමණයි. රන්වන් පැහැය වන තෙක් පමණක් ආහාර බැදගැනීම ප්‍රමාණවත්. බැදිම වෙනුවටත් හැකි හැම විටම තම්බා ගැනීමට කටයුතු කරනවා නම් හොඳයි.

ඒ වගේම බැදුම් සඳහා යොදගන්නා භාජන එක්වරක් ආහාර බැද ගත් පසුව නැවැත භාවිතයට ගැනීමට පෙර හොදින් සෝදා පිරිසිදු කර ගැනීමත් ඉතාම වැදගත්. මොකද තෙල් අධික ලෙස රත්වීමෙන් පසුව එම භාජනවල තට්ටුවක් ලෙස බැඳෙනවා. ඒ තට්ටුව ඉවත් කළ හැක්කේ සූරා දැමීමෙන් පමණයි. ඒත් සමහරු ඒ තෙල් තට්ටුව සූරලා දාන්නේ නැතුව යාන්තම් වතුරෙන් හෝදලා ඒ භාජන නැවත පාවිච්චි කරනවා. එතකොට ඒ භාජනයේ තියෙන පැරණි තෙල් තට්ටුව නැවත රත් වෙනවා. එමගින් අර මම මුලින් සඳහන් කළ ආකාරයේ විෂ රසායනිකයන් පරිසරයට මුදා හැරෙනවා.

ආහාර සඳහා භාවිත කළ හැකි හොඳම තෙල් වර්ගය පොල්තෙල් කියලා ඔබ කියනවා. වෙළෙඳපොළේ තිබෙන විවිධ වර්ගයේ පොල්තෙල්වලින් ශරීරයට හිතකර පිරිසිදු පොල්තෙල් තෝරගන්නෙ කොහොමද?

වෙළෙඳපොළේ පවතින හොඳ පොල්තෙල් සොයා ගැනීම අද අසීරුම කටයුත්තක් වෙලා තියෙන්නෙ. කෝල් ප්රෙෂ් වර්ජින් කොකනට් ඔයිල් ලෙස නම් කළ පොල් තෙල් තමයි හිතකර. අපිට නිවසේදීම පොල්තෙල් හිඳගන්නත් පුළුවන්. ඒවා ඉතාමත් පිරිසිදුයි. කොහොම නමුත් වෙළෙඳපොළ තුළ තිබෙන පොල්තෙල් පිළිබඳව අපිට සියයට සියයක විශ්වාසයක් තියන්න බැහැ. ඒ නිසා තමන් මිලදී ගන්නා පොල්තෙල් බෝතලයේ RBD අකුරු තුන සඳහන් කරලා තියෙනවාද කියලා පාරිභෝගිකයන් අවධානයෙන් සිටිය යුතුයි. ඒ අකුරු තුන යොදලා තියෙන පොල්තෙල් බෝතල් මිලදී ගන්න එපා. එවැනි පොල්තෙල් කිසිසේත්ම පරිභෝජනයට සුදුසු නෑ.

RBD කියන අකුරු තුන යොදලා තියෙන්නේ වෙළෙඳපොළේ පවතින හොඳින් පිරිපහදු කළ පොල්තෙල් සඳහා නේද? එවැනි තෙල් පරිභෝජනයට ගැනීම නුසුදුසුයි කියන්නේ ඇයි?

කිසිසේත්ම නැහැ. පිරිපහදු කරලා, වර්ණ ගන්වලා එයට ආවේණිකව පැවැති ගන්ධය නැති කරලා තියෙන තෙල්වල අධික ලෙස රසායනික සංයෝග ඇතුළත් කරලා තියෙනවා. තෙල් පිරිපහදු කරන විට අධික රසායනිකයන් එයට යොදනවා. තෙල් වර්ණ ගන්වන විට ගන්ධය නැති කිරීම සඳහා අධික ලෙස රසායනික යොදනවා. පිරිපහදු කළ තෙල් කියු සැණින් බොහෝ දෙනෙක් මේ RBD කියන අකුරු තුනට රැවටෙනවා. ඒ විදිහට රැවටිලා මේ පොල්තෙල් මිලදී ගන්න එපා කියලයි අපි පාරිභෝගිකයන්ට කියන්නේ.

අරුණ පුවත්පත ඇසුරෙන්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!