මිස්ටර් වර්ල්ඩ් – 2024 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරපු මේඝ සූරියආරච්චි කියන්නේ කාලෙකට පස්සේ දැකපු ලස්සන පිරිමි පෞරුෂයක් කියලා කිව්වොත් වැරදි නැහැ.
මිස්ටර් වර්ල්ඩ් තරඟයෙන් පස්සේ මේඝ ගැන ලංකාවම පුදුමාකාර උනන්දුවකින් කතා කරන්න පටන් ගත්තා.
ඒ කඩවසම් පිරිමි පෙනුම ලංකාවේ සින්මාවටත් අලුත් බලාපොරොත්තුවක් වෙලා. මේ වන විටත් සිංහල චිත්‍රපට කිහිපයකටම දායක වුණු මේඝට මිස්ටර් වර්ල්ඩ් තරගය නිසා හොලිවුඞ් වලටත් (Hollywood) වරම් ලැබිලා තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ…
ඔහු පසුගියදා වියට්නාමයේ පැවැති මිස්ටර් වර්ල්ඩ් තරඟාවලියට එක්ව ඉකුත් 26වැනිදා මධ්‍යම රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළින් උපන්බිම වෙත පැමිණියා.
ශ්‍රී ලංකාවේ පැවති මිස්ටර් ශ්‍රී ලංකා ( Mr: Sri Lanka ) තරගාවලියේදී මෙරට කඩවසම්ම තරුණයා ලෙස තේරීපත් වීමෙන් පසු මේඝ සූරියආරච්චි මෙවර ලෝක මිස්ටර් වර්ල්ඩ් තරගාවලියට සුදුසුකම් ලබා තිබුණා.
මේ තරගාවලියේදී අවසන් 10 දෙනා අතරට තේරී පත්වීම ශ්‍රී ලංකාව මෙවැනි තරගාවලියකදී ජාත්‍යන්තර වශයෙන් ලබා ගත් ප්‍රථම ජයග්‍රහණය බවයි මේඝ පවසන්නේ. මීට අමතරව මේ තරගාවලියේදී හොඳම ඇඳුම් නිර්මාණයට හිමි සම්මානයත්, මේ තරගාවලියේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රසාදය හිමිකර ගත් තරුණයාට හිමි සම්මානයත් දිනා ගත් මේඝ සූරියආරච්චි, ආසියාවේ කඩවසම් තරුණයන් අතරින් දෙවන ස්ථානය දිනා ගැනීමට ද සමත් වී තිබෙනවා.
කොළඹ ඩී. එස්. සේනානයක විදුහලේ හා කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු ඔහු නළුවෙක් හා සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස ද කටයුතු කරන බවයි දැනගන්නට ලැබෙන්නේ.
මේ දිනවල තිරගත වන මන්දාරා සිනමා පටයේ ප්‍රධාන නළුවා වන්නේ ඔහුයි. දේවි කුසුමාසන, කලර් පෙන්සිල්, සූරිය සුළග ඔහුගේ තිරගත වීමට නියමිත සිනමාපට කිහිපයකි. එමෙන්ම ‘‘Marine Drive’’ සිනමාපටයේ නිර්මාණකරුවා වන්නේ ද මේඝයි.