දේශීය පුවත්

මැයි 1 නොව 30 වන දා වෙසක් පෝය ලෙස නම් කරන්න’- මහ නාහිමිවරුන් ජනපතිගෙන් ඉල්ලති…

2026 වර්ෂයේ වෙසක් පුන් පොහොය දිනය මැයි මස 30 වන දිනට නියම කරන ලෙසත්, ඒ අනුව එදින වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා ලෙසත් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිති.
ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් මහානායක හිමිවරුන් පෙන්වා දෙන්නේ දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයන්හි 2026 මැයි මස 01 වන දින වෙසක් පොහොය ලෙස සටහන් කර ඇති බවයි. එහෙත් සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පොහොය දිනය විසා නැකත හා බැඳී පැවතිය යුතු වුවද, මැයි 01 වන දිනට එම නැකත නොයෙදෙන බව උන්වහන්සේලා පෙන්වා දෙති.

චිරාගත ශාසන සම්ප්‍රදායට අනුව සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුලම විසා නැකතින් සිදුව ඇති බැවින්, වෙසක් පොහොය විසා නැකත යෙදෙන පසළොස්වක දිනකම යෙදිය යුතුය.

මේ සම්බන්ධයෙන් නක්ෂත්‍ර ප්‍රවීණයන්ගේ ද අදහස් විමසා ඇති අතර, ඒ අනුව විසා නැකත යෙදෙන 2026 මැයි මස 30 වන දින වෙසක් පුර පසළොස්වක පොහොය ලෙස යොදා ගැනීම වඩාත් සුදුසු බවට තීරණය කර ඇත.

ඒ අනුව 2026 මැයි 30 වන දින වෙසක් පොහොය ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසත්, එදිනට අදාළව රාජ්‍ය උත්සව සහ ආගමික කර්තව්‍යයන් සංවිධානය කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

මෙම දැනුම්දීම සඳහා අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමි (මල්වතු පාර්ශ්වය) , අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක හිමි (අස්ගිරි පාර්ශ්වය) , අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක හිමි (අමරපුර මහා නිකාය) සහ අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහානායක හිමි (රාමඤ්ඤ මහා නිකාය) යන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව එකඟතාව පළ කර ඇත.

මෙම ලිපියේ පිටපත් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වෙත සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත ද අවශ්‍ය කටයුතු සඳහා යොමු කර තිබේ…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!