දේශීය පුවත්

ගංවතුර උදව් කරමින් සිටි පිහිනුම් ශූරිය ඕෂධී හදිසියේ ම.රු.​ට

“කැලණි ගඟේ දිය කිඳුරිය” ලෙස විරුදාවලිය ලත් දක්ෂ පිහිනුම් ශූරියක වූ සේදවත්ත, කොටුවිල ප්‍රදේශයේ පදිංචි ඕෂධී ව්‍යායාමා මෙනවිය නිවසේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් මියගොස් තිබේ. දහනව වැනි වියේ පසුවූ මෙම තරුණිය පසුගිය 10 වැනිදා මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇති අතර, වහාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ ද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.

කොළඹ විශාඛා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය, ප්‍රදේශයේ සමාජ සත්කාරක කටයුතු සඳහා ද පෙරමුණ ගත් තරුණියකි. විශේෂයෙන්ම පසුගිය දිනවල ඇතිවූ දැඩි ගංවතුර ආපදා තත්ත්වයේදී බෝට්ටු මගින් ගමන් කරමින් අවතැන් වූ අසල්වාසීන් බේරා ගැනීමටත්,
ඔවුනට අවශ්‍ය ආහාර පාන බෙදා හැරීමටත් ඇය දිවා රෑ නොබලා විශාල කැපවීමකින් කටයුතු කළ බව ප්‍රදේශවාසීහු කෘතවේදීව සිහිපත් කරති.

වයස අවුරුදු තුනේදී සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකයෙන් පිහිනීම ප්‍රගුණ කිරීම ආරම්භ කළ ඕෂධී, මුලදී කිඹුලන්ට ඇති බිය හේතුවෙන් කැලණි ගඟට බැසීමට මැලිවූව ද පසුව වයස අවුරුදු හතේදී කැලණි ගඟ තරණය කරමින් ගිනස් වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය. එදා පට්ටියහන්දිය ප්‍රදේශයෙන් ගඟට පැන මීටර් 1000 ක දුරක් විනාඩි 14 යි තත්පර 41 ක කාලයක් තුළ පිහිනමින් කළු පාලම අසලින් ගොඩට පැමිණි ඇයගේ මෙම වික්‍රමය නැරඹීම සඳහා ගම්වාසීන් ඇතුළු දහස් සංඛ්‍යාත ජනතාවක් ගඟ දෙපස රැස්ව සිටියහ.

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ අනුග්‍රහය සහ නාවික හමුදාවේ විශේෂ ආරක්ෂාව මධ්‍යයේ සිදුවූ මෙම වාර්තාගත පිහිනුම් වික්‍රමය හේතුවෙන් ඇය රාජ්‍ය නායකයාගේ ද ඇගයීමට ලක්විය. මෑත කාලීනව කිසියම් රෝගී තත්ත්වයකින් පසුවූ ඇය සිය දිවි නසා ගත්තේද යන්න පිළිබඳව වැල්ලම්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. ඇයගේ මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී සිදු කෙරුණු අතර, මියගිය තරුණියගේ ශරීර කොටස් කොළඹ වෛද්‍ය විද්‍යාලය වෙත භාර දීමට පියවර ගත් බව ඇයගේ පවුලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!